සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

5. සාමණ්ඩක සංයුත්තය

1. නිබ්බාණ සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ වැදෑරට උක්කවේලා නම් ගඩ්ගා නදී තීරයෙහි වැඩසිටිනසේක. එකල්හි වනාහි සාමණ්ඩක පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් හාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ සමග සතුටුවිය. සතුටු විය යුතුවූ සිහි කටයුතුවූ කථාව කොට නිමවා එක්පසෙක හුන්නේය. එක්පසෙක හුන්නාවූ සාමණ්ඩක පරිබ්‍රාජකතෙම ආයුෂ්මත් ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේට මෙය සැළකළේය.

“ඇවැත්නි, ශාරීපුත්‍රය, නිර්වාණය නිර්වාණයයි කියනු ලැබේ. ඇවැත්නි, නිර්වාණය කුමක්ද?”

“ඇවැත්නි, යමක් රාගය ක්ෂය කිරීමට හේතුවේද, ද්වේෂ ක්ෂය කිරීමට හේතු වේද, මොහය ක්ෂය කිරීමට හේතු වේද, මේ නිර්වාණයයයි කියනු ලැබේ.”

“ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේද? ප්‍රතිපදාවක් ඇත්තේද?” ඇවැත්නි, මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගයක් ඇත්තේය. ප්‍රතිපදාවක් ඇත්තේය.”

“ඇවැත්නි, ඒ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීමට මාර්ගය කවරේද, ප්‍රතිපදාව කවරේද?”

“ඇවැත්නි මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනය, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් ස්මෘතිය, සම්‍යක් සමාධිය යන මේ ආර්යඅෂ්ටාඩ්ගික මාර්ගය වෙයි. ඇවැත්නි, නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි.”

“මේ නිර්වාණය ප්‍රත්‍යක්ෂ කිරීම පිණිස යහපත් මාර්ගයකි. යහපත් ප්‍රතිපදාවකි. ඇවැත්නි, ශාරිපුත්‍රය, අප්‍රමාදයටද සුදුසුය.”