සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

6. මොග්ගල්ලාන සංයුත්තය

9. අනිමිත්ත සූත්‍රය

“අනිමිත්තචිත්ත සමාධිය, අනිමිත්තචිත්ත සමාධිය (විදර්ශනා සමාධිය) යයි කියනු ලැබේ. අනිමිත්තචිත්ත සමාධිය (විදර්ශනා සමාධිය) කවරේද? ඇවැත්නි, ඒ මට මේ අදහස පහළවිය. මේ ශාසනයෙහි මහණතෙම සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් (නිත්‍ය සුඛ ආත්මයන්) මෙනෙහි නොකිරීමෙන් අනිමිත්ත චිත්ත සමාධියට පැමිණ වාසය කරයිද මේ අනිමිත්තචිත්ත සමාධියයි කියනු ලැබේ.

“ඇවැත්නි, ඒ මම සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්තචිත්ත සමාධියට පැමිණ වාසය කරමි. ඇවැත්නි, මේ විහරණයෙන් වසන්නාවූ ඒ මට විදර්ශනාවන්හි ඇලෙන්නාවූ සිත උපදියි.

“ඇවැත්නි, එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඍද්ධියෙන් මා වෙත පැමිණ මෙසේ වදාළසේක. ‘මොග්ගල්ලානය, මොග්ගල්ලානය, බ්‍රාහ්මණය, අනිමිත්තචිත්ත සමාධියෙහි ප්‍රමාද නොවව. අනිමිත්තචිත්ත සමාධියෙහි සිත පිහිටුව. අනිමිත්තචිත්ත සමාධියෙහි සිත එකඟ කරව. අනිමිත්ත චිත්ත සමාධියෙහි සිත තබව.

“ඇවැත්නි, ඒ මම පසුව සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් අනිමිත්තචිත්ත සමාධියට පැමිණ වාසය කෙළෙමි.

“ඇවැත්නි, යමෙකුට ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකයෙක් මහත් නුවණැති බවට පැමිණියේයයි මනාකොට කියත් නම් ශාස්තෲන් වහන්සේ විසින් අනුග්‍රහ කරන ලද ශ්‍රාවකතෙම මහත් නුවණැති බවට පැමිණියේයයි මා උදෙසාම කියන්නේය.”