සංයුත්තනිකායො

සළායතන වර්‍ගය

6. මොග්ගල්ලාන සංයුත්තය

10. සක්ක සූත්‍රය

[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරතෙම සැවැත්නුවර ජේතවන නම් අනේපිඬු මහසිටාණන්ගේ ආරාමයෙහි වාසය කරයි. එකල්හි වනාහි ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිර තෙමේ යම්සේ වනාහි බලවත් පුරුෂයෙක් හකුළනලද අතක් යම්සේ දිගහරීද, දිගහරිනලද අතක් යම්සේ හකුළාද එසේම ජේතවනයෙහි අතුරුදහන් වූයේ තව්තිසා වැසි දෙවියන් කෙරෙහි පහළවිය.

[2] එකල්හි සක්දෙව් රජතෙම පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහ මුගලන් තෙරුන්වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ, එකත්පසෙක සිටියේය. එකත්පසෙක හුන් සක්දෙව් රජුට ආයුෂ්මත් මහමුගලන් තෙරුන්වහන්සේ මෙය වදාළහ.

[3] “දෙවානමින්දය, බුදුන් සරණයාම යහපත් වේ. දෙවානමින්දය, බුදුන් සරණ යාම හේතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදිත්. දෙවානමින්දය, ධර්මය සරණයාම යහපත් වේ. දෙවානමින්දය, ධර්මය සරණයාම හේතුකොටගෙන මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. දෙවානමින්දය, සංඝයා සරණ යාම යහපත් වේ. දෙවානමින්දය, සංඝයා සරණයාම හේතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්යයි” වදාළසේක.

[4] “නිදුකාණෙනි, මොග්ගල්ලානය, බුදුන් සරණයාම යහපත් වේ. නිදුකාණෙනි මොග්ගල්ලානය, බුදුන් සරණයාම හේතුකොට ගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, ධර්මය සරණයාම යහපත්වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානය, ධර්මය සරණයාම හේතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. නිදුකාණෙනි, මොග්ගල්ලානය, සංඝයා සරණයාම යහපත් වෙයි. නිදුකාණෙනි, මොග්ගල්ලානය, සංඝයා සරණයාම හේතු කොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්යයි’ කීයේය.

[5, 6, 7] (මෙහි මේ සූත්‍රයේ 2, 3, 4 වෙනි ඡෙද යොදාගත යුතුයි. ‘පන්සියයක් දෙවියන්’ වෙනුවට ‘දේවතාවන් හය සියයක්’ විය යුතුයි.)

[8, 9, 10] (මෙහි මේ සූත්‍රයේ 2, 3, 4 වෙනි ඡෙද යොදාගත යුතුයි. ‘පන්සියයක් දෙවියන්’ වෙනුවට ‘දේවතාවන්’ හත් සියයක්’ විය යුතුයි.)

[11, 12, 13] (මෙහි මේ සූත්‍රයේ 2, 3, 4 වෙනි ඡෙද යොදා ගත යුතුයි. ‘පන්සියයක් දෙවියන්’ වෙනුවට’ ‘දේවතාවන් අට සියයක්’ විය යුතුයි.)

[14] ඉක්බිති සක්දෙව් රජතෙම අසූදහසක් දෙවියන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේට වැඳ, එක්පසෙක සිටියේය. එකත්පසෙක සිට සක්දෙව් රජහට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළහ.

“දෙවානමින්දය, බුදුන් සරණ යාම යහපත් වේ. දෙවානමින්දය, බුදුන් සරණයාම හේතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. දෙවානමින්දය, ධර්මය සරණයාම යහපත්වේ. දෙවානමින්දය, ධර්මය සරණයාම හේතුකොටගෙණ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. දෙවානමින්දය, සංඝයා සරණයාම යහපත්වේ. දෙවානමින්දය, සංඝයා සරණ යාම හේතුකොට ගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්.”

[15] “නිදුකානෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් සරණයාම යහපත් වේ. නිදුකානෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් සරණයාම හේතුකොට ගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. නිදුකානෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මය සරණයාම යහපත්වේ. නිදුකානෙනි මොග්ගල්ලානය, ධර්මය සරණ යාම හේතුකොට ගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. නිදුකානෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සංඝයා සරණ යාම යහපත්වේ. නිදුකානෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, සංඝයා සරණයාම හේතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.

[16] “ඉක්බිති ශක්‍ර දෙවෙන්ද්‍රතෙම පන්සියයක් දෙවතාවන් සමග ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වැඳ, එකත්පසෙක සිටියේය. එක්පසෙක සිටි සක්දෙව් රජුට ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. දෙවානමින්දය, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුත්, අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය. සුගතය, ලොකවිදුය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි. දෙව් මිනිසුන්ගේ අනුශාසකය. බුද්ධය භාග්‍යවත්ය, කියායි. දෙවානමින්දය බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවී ඒ හේතුකොටගෙන මෙසේ මේ ලොකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදිත්.

[17] “දෙවානමින්දය, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනා කොට වදාරණ ලදී. ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල් නොයවා ලැබිය හැකි ඵල ඇත්තේය. එව, බලවයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමා තුළ උපදවාගත යුත්තේය ඤාණවන්තයින් විසින් තමා කෙරෙහිලා දතයුතුය දෙවෙන්ද්‍රය, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වීමෙන් මෙසේ මේ ලොකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලොකයෙහි උපදිත්.

[18] දෙවෙන්ද්‍රය, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා යහපත්ව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ඍජුව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරු බුහුමනට යෝග්‍යව පිළිපන්නේය. පුරුෂ යුග සතරක්වූ, පුරුෂ පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරනලද ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිළියෙල කළ ප්‍රත්‍ය පිළිගැනීමට සුදුසු වූයේය. කම් ඵල අදහාදෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිළිබැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලොකයාගේ නිරුත්තර පින් කෙත වන්නේය. දෙවෙන්ද්‍රය මෙසේ සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වීම හේතුකොටගෙන මේ ලොකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදිත්.

දෙවෙන්ද්‍රය, කඩතොලු නොවූ, සිදුරු නොවූ, කබර නොගැසුනු, කිලුටු නැති, තෘෂ්ණාවෙන් නිදහස්වූ, ඤාණ වන්තයන් විසින් පසසනලද, තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් අල්වාගනු නොලැබූ සමාධිය පිණිස පවත්නාවූ ආර්යයන් විසින් කැමතිවන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත් වේ. දෙවෙන්ද්‍රය, ආර්යයන් කැමති වන්නාවූ ශීලයෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ මෙලොව ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදිත්.

[19] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත් නම් වනසේක. සම්‍යක් සම්බුද්ධය. අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය. සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි, දෙව් මිනිසුන්ගේ අනුශාසකය, බුද්ධය, භාග්‍යවත්යයි, කියායි ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති (කෙසේද?) මොග්ගල්ලානය, භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලොකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදිත්.

[20] නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දෙශනා කරණලදී. ප්‍රත්‍යක්ෂව දැකියහැකි ගුණ ඇත්තේය. කල් නොයවා ලැබියහැකි ඵල ඇත්තේය. එව බලව යයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමා තුළ උපදවා ගතයුත්තේය. ඤාණවන්තයින් විසින් තමා කෙරෙහිලා දතයුතුය. නුවණැත්තන් විසින් වෙනවෙනම දතයුතුයයි ධර්මයකෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති. නිදුකාණෙනි, ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මේ ලොකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.”

[21] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝතෙම මනාව පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරුබුහුමනට යොග්‍යව පිළිපන්නේය. පුරුෂයුග සතරක් වූ, පුරුෂ පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරනලද ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු වූයේය. කම් පල අදහා දෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලිබැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලෝකයාගේ නිරුත්තර පුණ්‍යකේෂත්‍රය වන්නේයයි සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති නිදුකාණෙනි, මොග්ගල්ලායන ස්ථවිරයන් වහන්ස, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වීම හේතුකොටගෙන මේ ලොකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.

[22] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, කඩනොවූ සමාධිය පිණිස පවත්නාවූ ආර්යයන් කැමති වන්නාවූ සීලයෙන් සමන්විත වීම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස ආර්යයන් විසින් කැමති වන්නාවූ සීලයෙන් සමන්විතවීම හේතුකොටගෙන මේ ලොකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදිත්.

[23, 24, 25, 26, 27, 28, 29] (මෙහි මේ සූත්‍රයේ 16, 17, 18, 19, 20, 21, 22 ඡෙද යොදා ගතයුතුයි. දේවතාවන් 500 ක් වෙනුවට 600 ක් විය යුතුයි.)

[30, 31, 32, 33, 34, 35, 36] (මෙහි මේ සූත්‍රයේ 16, 17, 18, 19, 20, 21, 22 ඡෙද යොදා ගතයුතුයි. දේවතාවන් 500 ක් වෙනුවට 700 ක් වියයුතුයි.)

[37, 38, 39, 40,41, 42, 43] (මෙහි මේ සූත්‍රයේ 16, 17, 18, 19, 20, 21, 22 ඡෙද යොදා ගතයුතුයි. දේවතාවන් 500 ක් වෙනුවට 800 ක් විය යුතුයි.)

[44, 45, 46, 47, 48, 49, 50] (මෙහි මේ සූත්‍රයේ 16, 17, 18, 19, 20, 21, 22, ඡෙද යොදා ගතයුතුයි. දේවතාවන් 500 ක් වෙනුවට 8000 ක් විය යුතුයි.)

[51] එකල්හි සක්දෙව් රජතෙම පන්සියයක් දෙවතාවන් සමග ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් මහා මොග්ග්ලාන ස්ථවිරයන් වැඳ එක් පසෙක සිටියේය. එක් පසෙක හුන් සක්දෙව් රජුට ආයුෂ්මත් මහා මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්සේ මෙය වදාළසේක. දෙවේන්ද්‍රය, බුදුන් සරණයාම යහපත්වේ. දේවේන්ද්‍රය, බුදුන් සරණයාම හේතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදිත්.

ඔවුහු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.

[52] දෙවෙන්ද්‍රය, ධර්මය සරණයාම යහපති. දෙවෙන්ද්‍රය ධර්මය සරණයාම හේතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.

ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.

[53] දෙවෙන්ද්‍රය, සංඝයා සරණයාම යහපති. දෙවෙන්ද්‍රය සංඝයා සරණයාම හෙතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලොකයෙහි උපදිත්.

ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.

[54] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් සරණයාම යහපත්වේ. නිදුකාණෙනි, මොග්ගල්ලානය, බුදුන් සරණයාම හෙතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්.

ඔවුහු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.

[55] “නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්මය සරණ යාම යහපති. නිදුකාණෙනි, මොග්ගල්ලානයෙනි, ධර්මය සරණයාම හේතුකොටගෙන මෙසේ මේ ලොකයෙහි ඇතැම් සත්වයෝ ශරීරයාගේ බිඳීමෙන් මරණින් පසු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද, යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.

[56] (මෙහි මේ සූත්‍රයේ 53 ඡෙදය, ‘දෙවෙන්ද්‍රය’ වෙනුවට ‘නිදුකාණෙනි’ කියා යොදාගතයුතුයි.)

[57, 58, 59, 60, 61, 62] (මේ සූත්‍රයේ 51, 52, 53, 54, 55, 56 ඡෙදය මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 600 ක්’ යයි කියා යොදාගත යුතුයි.)

[63, 64, 65, 66, 67, 68] (මේ සූත්‍රයේ 51, 52, 53, 54, 55, 56 ඡෙද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 700 ක් යයි යොදාගත යුතුයි.)

[69, 70, 71, 72, 73, 74] (මේ සූත්‍රයේ 51, 52, 53, 54, 55, 56 ඡෙද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට දෙවියන් 800 ක්’ යයි යොදාගත යුතුයි.)

[75, 76, 77, 78, 79, 80] (මේ සූත්‍රයේ 51, 52, 53, 54, 55, 56 ඡෙද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 80000 ක් යයි යොදාගත යුතුයි.)

[81] ඉක්බිති සක්දෙව් රජතෙම පන්සියයක් දෙවියන් සමග ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් මහමුගලන් තෙරුන් වැඳ එක්පසෙක සිටියේය. එක්පසෙක සිටි සක්දෙව් රජුට මහමුගලන් තෙරණුවෝ මෙසේ කීය.

“දෙවෙන්ද්‍රය, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. ඒ භාග්‍යවතුන් වහන්සේ මේ කාරණයෙනුත් අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය, අෂ්ටවිද්‍යා පසළොස්චරණ ධර්මයන්ගෙන් යුක්තය සුගතය, ලොකවිදූය පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි. දෙව් මිනිසුන්ගේ අනුශාසකය, බුද්ධය, භාග්‍යවත්ය.

“දෙවෙන්ද්‍රය, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද, යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.

[82] “ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ. ප්‍රත්‍යක්ෂව දැකිය හැකි ගුණ ඇත්තේය. කල්නොයවා ලැබිය හැකි ඵල ඇත්තේය. එව, බලවයයි පෙන්විය හැකි ගුණ ඇත්තේය. තමා තුළ උපදවා ගත යුත්තේය. ඤාණවන්තයින් විසින් තමා කෙරෙහි ලා දත යුතුයි.

“දෙවෙන්ද්‍රය, ධර්මය කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යනකරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.

[81] “දෙවේන්ද්‍රය, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සෘජුව පිළිපන්නේය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. පුරුෂ යුග සතරක්වූ, පුරිස පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරන ලද ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු වූයේය. තුටුපඬුරු පිණිස පිළියෙල කළ ප්‍රත්‍ය පිළිගැනීමට සුදුසුවූයේ කම් පල අදහා දෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇදිලිබැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලෝකයාගේ නිරුත්තර පින් කෙත වන්නේය.

“දෙවෙන්ද්‍රය, සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්ත වීම හේතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂයෙන්ද දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද, යන කරුණු දසයකින් අන්‍ය දෙවියන් යටපත් කරත්.

“දෙවෙන්ද්‍රය, කඩතොලු නොවූ, සිදුරු නොවූ, කබර නොගැසුණු, කිලුටු නැති, තෘෂ්ණාවෙන් නිදහස්වූ, ඤාණවන්තයන් විසින් පසසන ලද, තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් අල්වා ගනු නොලැබූ සමාධිය පිණිස පවත්නාවූ ආර්යයන් විසින් කැමැති වන්නාවූ ශීලයෙන් යුක්තවීම යහපත්වේ.

“දෙවෙන්ද්‍රය, ආර්යයන් කැමැති වන්නාවූ ශීලයෙන් සමන්විතවීම හේතුකොට ගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ගලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂින්ද දිව්‍ය වර්ණයෙන්ද දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දශවිධ කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත් යනුවෙනි.

[82] “නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, මේ කාරණයෙනුදු ඒ භාග්‍යවතුන් වහන්සේ අර්හත්ය. සම්‍යක් සම්බුද්ධය. අෂ්ටවිද්‍යා පසළොස් චරණ ධර්මයන්ගෙන් යුක්තය, සුගතය, ලොකවිදූය, පුරුෂයන් දමනය කිරීමෙහි අනුත්තර සාරථියෙකි. දෙව්මිනිසුන්ගේ ශාස්තෲවරය, බුද්ධය භාග්‍යවත්යයි බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපති.

‘නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, බුදුන් කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇත්තාවූ ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුසින්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.

[83] “නිදුකාණෙනි මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේ විසින් ධර්මය මනාකොට දේශනා කරන ලදී. දෙවෙන්ද්‍රය, කඩතොලු නොවූ සිදුරු නොවූ කබර නොගැසුනු, කිලුටු නැති තෘෂ්ණාවෙන් නිදහස්වූ, ඤාණවන්තයන් විසින් තමතමන් විසින් වෙන වෙනම දතයුතුයි. ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ.

“නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, ධර්මයෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොටගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂින්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද දිව්‍ය ශබ්දයෙන්ද, දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කාරණයකින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.

[84] “නිදුකාණෙනි මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස, භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සෘජුව පිළිපන්නේය භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නිවනට සුදුසු ආකාරයෙන් පිළිපන්නේය. භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා ගරු බුහුමනට යොග්‍යව පිළිපන්නේය. පුරුෂ යුග සතරක්වූ පුරිස පුද්ගලයන් අටදෙනෙක්වූ භාග්‍යවතුන් වහන්සේගේ මේ ශ්‍රාවක සංඝයා ආගන්තුකයන් උදෙසා පිළියෙල කරනලද ප්‍රත්‍යයන් පිළිගැනීමට සුදුසු වූයේය. තුටු පඬුරු පිණිස පිළියෙල කළ දෙය පිළිගැනීමට සුදුසු වූයේය. කම් පල අදහා දෙන දන් පිළිගැනීමට සුදුසු වූයේය. ඇඳිලි බැඳ නමස්කාර කිරීමට සුදුසු වූයේය. ලෝකයාගේ නිරුත්තර පින්කෙතයයි සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම යහපත්වේ.

“නිදුකාණෙනි, මහාමොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස සංඝයා කෙරෙහි අචල ශ්‍රද්ධාවෙන් යුක්තවීම හේතුකොට ගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ග ලෝකයෙහි උපදිත්. ඔව්හු දිව්‍ය ආයුෂින්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද, දිව්‍ය ශබ්දයෙන්ද දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්.

“නිදුකාණෙනි, මොග්ගල්ලාන ස්ථවිරයන් වහන්ස කඩතොලුනොවූ, සිදුරු නොවූ, කබර නොගැසුනු, කිලුටු නැති, තෘෂ්ණාවෙන් නිදහස්වූ, ඤාණවන්තයන් විසින් පසසන ලද තෘෂ්ණා මාන දෘෂ්ටීන් විසින් අල්වාගනු නොලැබූ සමාධිය පිණිස පවත්නා ආර්යයන් කැමැත්තාවූ ශීලයෙන් යුක්තවීම යහපත්වේ.

“නිදුකාණෙනි, මොග්ගල්ලානයන් වහන්ස, ආර්යයන් කැමැතිවන්නාවූ ශීලයෙන් යුක්තවීම හේතුකොට ගෙන මෙසේ මේ ලෝකයෙහි ඇතැම් සත්වයෝ කය බිඳීමෙන් මරණින් මතු යහපත් ගති ඇති ස්වර්ගලෝකයෙහි උපදිත් ඔව්හු දිව්‍ය ආයුෂින්ද, දිව්‍ය වර්ණයෙන්ද, දිව්‍ය සැපයෙන්ද, දිව්‍ය යසසින්ද, දිව්‍ය අධිපති භාවයෙන්ද, දිව්‍ය රූපයෙන්ද දිව්‍ය ශබ්දයෙන්ද දිව්‍ය ගන්ධයෙන්ද, දිව්‍ය රසයෙන්ද, දිව්‍ය ස්පර්ශයෙන්ද යන දස කරුණින් සෙසු දෙවියන් ඉක්මවා සිටිත්යයි කීහ.

[85, 86, 87, 88, 89, 90] (මේ සූත්‍රයේ 79, 80, 81, 82, 83, 84 ඡෙද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 600 ක්’ යයි යොදාගත යුතුයි.)

[91, 92, 93, 94, 95, 96] (මේ සූත්‍රයේ 79, 80, 81, 82, 83, 84 ඡෙද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 700 ක්’ යයි යොදාගත යුතුයි.)

[97, 98, 99, 100, 101, 102] (මේ සූත්‍රයේ 79, 80, 81, 82, 83, 84 ඡෙද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 800 ක්’ යයි යොදාගත යුතුයි.)

[103, 104, 105, 106, 107, 108] (මේ සූත්‍රයේ 79, 80, 81, 82, 83, 84 ඡෙද මෙහි යොදාගත යුතුයි. ‘දෙවියන් 500 ක්’ වෙනුවට ‘දෙවියන් 80,000 ක්’ යයි යොදාගත යුතුයි.)