සංයුත්තනිකායො
මහා වර්ගය
1. මාර්ග සංයුත්තය
5. අඤ්ඤතිත්ථිය පෙය්‍යාල වර්ගය
1. රාග විරාග සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටුහු විසින් කරවන ලද ජේතවනාරාමයෙහි වැඩවසන සේක. එකල්හි බොහෝ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද එතැනට පැමිණියහ. පැමිණ, භාග්‍යවතුන් වහන්සේ වැඳ, එක්පසෙක හුන්හ. එක්පසෙක හුන්නාහු ඒ භික්ෂූන්ට භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළසේක.
[2] “මහණෙනි, ඉදින් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ තොපගෙන් ‘ඇවැත්නි, ශ්‍රමණ භවත් ගෞතමයින් වහන්සේ වෙත කුමක් පිණිස බ්‍රහ්මචරියාවෙහි වෙසෙන්නේද?”
[3] “මහණෙනි, මෙසේ අසන ලද්දාවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, රාගය නැතිකිරීම පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචරියාවෙහි වසන්නේයයි” කියව්.
[4] “මහණෙනි, ඉදින් වනාහී තොපගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ‘ඇවැත්නි, රාගය නැතිකිරීම පිණිස මාර්ගයක් තිබේද? ප්‍රතිපදාවක් තිබේදැයි’ මෙසේ අසන්නාහු නම් මෙසේ අසනලද තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයින්ට ‘ඇවැත්නි, රාගය නැතිකිරීම පිණිස මාර්ගයක් ඇත, ප්‍රතිපදාවක්ද ඇතැයි’ කියව්. මහණෙනි, රාගය නැති කිරීම පිණිස පවත්නා මාර්ගය නම් කුමක්ද? ප්‍රතිපදාව නම් කුමක්ද? මේ ආර්ය අෂ්ටාඩ්ගික මාර්ගයමැයි.
[5] ඒ කෙසේද යත්? සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පනාව, සම්‍යක් වචනය, සම්‍යක් කර්මාන්තය, සම්‍යක් ආජීවය, සම්‍යක් ව්‍යායාමය, සම්‍යක් සතිය, සම්‍යක් සමාධිය යන මේයි.
[6] “මහණෙනි, රාගය නැති කිරීම පිණිස පවත්නා මාර්ග මෙයයි. ප්‍රතිපදාව මෙයයි. මෙසේ අසන ලද්දාදවූ තෙපි අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියව්යයි” වදාළසේක.