සංයුත්තනිකායො
මහා වර්ගය
4. ඉන්ද්‍රිය සංයුත්තය
3. ඡළින්ද්‍රිය වර්ගය
1. න අබ්භඤ්ඤාසි සූත්‍රය
[1] මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වාසය කරන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනියි’ කියා භික්ෂූන් ඇමතුසේක. ‘ස්වාමීනියි’ කියා ඒ භික්ෂූන් භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. (එවිට) භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
[2] “මහණෙනි, මේ ඉන්ද්‍රියයෝ පසෙකි කවර පසෙක්ද? සද්ධින්ද්‍රිය, විරියින්ද්‍රිය, සතින්ද්‍රිය, සමාධින්ද්‍රිය, පඤ්ඤින්ද්‍රියයි. මහණෙනි, මම යම්තාක් මේ පඤ්ඤින්ද්‍රියයන්ගේ ඉපදීමද, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබොධ නොකෙළෙම්ද, මහණෙනි, මම ඒතාක් දෙවියන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත සත්වප්‍රජාවට නිරුත්තරවූ සම්‍යක් සමේබාධිය අවබොධකෙළෙම්යයි ප්‍රතිඥා නොකෙළෙමි.
[3] “මහණෙනි, යම්කලෙක වනාහි මම මේ පඤ්චෙන්ද්‍රියයන්ගේ ඉපදීම, නැතිවීමද, ආශ්වාදයද, ආදීනවයද, නිස්සරණයද තත්වූ පරිද්දෙන් අවබොධ කෙළෙම්ද, මහණෙනි, එකල්හි මම දෙවියන් සහිත මාරයන් සහිත බ්‍රහ්මයන් සහිත ලෝකයෙහි ශ්‍රමණ බ්‍රාහ්මණයන් දෙව් මිනිසුන් සහිත ප්‍රජාවට නිරුත්තරවූ සම්‍යක් සම්බොධිය අවබොධ කළෙම්යයි ප්‍රතිඥා කෙළෙමි
[4] “මාගේ අර්හත්ඵල සමාධිය නැතිකළ නොහැක. මාගේ මේ අන්තිම ජාතියවේ. දැන් නැවත ඉපදීමක් නැත්තේය. ඥාන දර්ශනයද මට පහළවිය.