සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
2. පාසාද කම්පන වර්ගය
5. උණ්ණාභ බ්‍රාහ්මණ සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ කොසඹෑ නුවර ඝොසිතා රාමයෙහි වාසය කළහ. එකල්හි උණ්ණාභ බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙම යම්තැනකද එතැනට පැමිණියේය. පැමිණ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් සමග සතුටුවිය. සතුටු විය යුතු සිහිකටයුතු කථාවන් කොට නිමවා එක්පසෙක හුන්නේය. එක් පසෙක හුන් උණ්ණාභ බ්‍රාහ්මණ තෙමේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් හට මෙය කීය.
“පින්වත් ආනන්ද ස්ථවිර වහන්ස, කිනම් අර්ථයක් පිණිස ශ්‍රමණ භවත් ගෞතමයන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වසන්නේදැයි?” ඇසීය.
“බ්‍රාහ්මණය, තෘෂ්ණා ඡන්දය දුරුකරනු පිණිස භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යාවෙහි වසන්නේයයි” කීය.
“පින්වත් ආනන්දයන් වහන්ස, මේ තෘෂ්ණා ඡන්දයාගේ දුරුකිරීම පිණිස මාර්ගයක් ඇත්තේද ප්‍රතිපදාවක් ඇත්තේද?”
“බ්‍රාහ්මණය, මේ තෘෂ්ණා ඡන්දයාගේ දුරුකිරීම පිණිස මාර්ගයක් ඇත්තේය ප්‍රතිපදාවක් ඇත්තේය.”
“පින්වත් ආනන්දයන් වහන්ස, මේ තෘෂ්ණා ඡන්දයාගේ දුරුකිරීම පිණිස ඇති මාර්ගය කුමක්ද ප්‍රතිපදාව කුමක්ද?”
“බ්‍රාහ්මණය, මේ ශාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, බ්‍රාහ්මණය, මේ තෘෂ්ණා ඡන්දයාගේ ප්‍රහාණය පිණිස මේ මාර්ගය වෙයි. මේ ප්‍රතිපදාව වෙයි”
“පින්වත් ආනන්දයන් වහන්ස, මෙසේ ඇති කල්හි තමා අයත් වෙයිද? තමා අයත් නොවෙයිද? ඡන්දයෙන්ම ඡන්දය දුරුකරන්නේය යන මේ කාරණය විද්‍යමාන නොවෙයි.”
“බ්‍රාහ්මණය, එසේ නම් නුඹගෙන්ම අසන්නෙමි. යම්සේ නුඹ කැමැති වන්නේද එසේ ප්‍රකාශ කරන්නෙහිය. බ්‍රාහ්මණය, එය කුමකැයි හඟින්නෙහිද නුඹට පළමුව ආරාමයට යන්නෙමි යන ඡන්දයක් (කැමැත්තක්) විය. ඒ ආරාමයට ගියාවූ නුඹගේ ඒ යෑම උපදවන්නාවූ යම් කැමැත්තක් වීද ඒ කැමැත්ත සංසිඳුනේද?”
“පින්වතුන් වහන්ස, එසේය.”
“නුඹට පළමුව ආරාමයට යන්නෙමියි වීර්‍ය්‍යයක් වීය. ඒ ආරාමයට ගියාවූ නුඹට ඒ ආරාමයට යෑම උපදවන්නාවූ වීර්‍ය්‍යයක් වීනම් එය සංසිඳුනේද?”
“පින්වතුන් වහන්ස! එසේය.”
“නුඹට පළමුව ආරාමයට යන්නෙමි’යි සිතක් විය. ඒ ආරාමයට ගියාවූ නුඹගේ ඒ ආරාමයට යෑම උපදවන්නාවූ සිතක් වීනම් එය සංසිඳුනේද?”
“පින්වතුන් වහන්ස, එසේය.”
“නුඹටත් පළමුව ආරාමයට යන්නෙමියි නුවණෙක් වීය. ඒ ආරාමයට ගියාවූ නුඹගේ යම් ඒ ආරාමයට යෑම උපදවන්නාවූ නුවණෙක්වීද ඒ නුවණ සංසිඳුනේය.”
“පින්වතුන් වහන්ස, එසේය.”
“බ්‍රාහ්මණය, එපරිද්දෙන්ම අර්හත්වූ පහකරණ ලද කෙලෙස් ඇති වැස නිමවන ලද බඹසර ඇති කරන ලද කටයුතු ඇති බහා තැබූ බර ඇති තමාගේ අර්ථයට පැමිණි ක්ෂය කරන ලද සසර බැඳුම් ඇති අර්හත් මාර්ගයට පැමිණි විමුක්තවූ යම් මේ භික්ෂුවක් වේද, ඔහුගේ රහත්වීමට පළමුව යම් ඡන්දයක් වීද, රහත් බවට පැමිණි කල්හි එය උපදවන්නාවූ යම් ඡන්දයක් වීද? එය සංසිඳුනේය. රහත්වීමට පළමුව යම් වීර්‍ය්‍යයක් වීද, රහත් බවට පැමිණි කල්හි එය උපදවන්නාවූ යම් වීර්‍ය්‍යයක් වීද එය සංසිඳුනේය. රහත්වීමට පළමුව යම් සිතක් වීද රහත් බවට පැමිණි කල්හි එය උපදවන්නාවූ සිත සංසිඳුනේය. රහත්වීමට පළමුව යම් විමසීමක් වීද, රහත් බවට පැමිණි කල්හි එය උපදවන්නට යම් විමසීමක්වීද එය සංසිඳුනේය.
“බ්‍රාහ්මණය, එය කුමකැයි හඟින්නෙහිද? මෙසේ ඇති කල්හි තමා අයත් හෝ වේද තමා අයත් හෝ නොවේද?”
“පින්වත් ආනන්දයන් වහන්ස, මෙසේ ඇති කල්හි ඒකාන්තයෙන් තමා අයත්වේ. අයත් නොවන්නේ නොවේ.
“පින්වත් ආනන්දයන් වහන්ස, ඉතා යහපති. පින්වත් ආනන්දයන් වහන්ස, ඉතා යහපති. පින්වත් ආනන්දයන් වහන්ස, යම්සේ යටිකුරු කරන ලද්දක් උඩුකුරු හෝ කෙරේද, සැඟවූවක් විවෘත හෝ කෙරේද, මංමුළාවූවෙකුට මාර්ගය හෝ කියයිද, ඇස් ඇත්තෝ රූප දකිත්වායි, අන්ධකාරයෙහි තෙල් පහනක් හෝ දරාද, එපරිද්දෙන් පින්වත් ආනන්දයන් වහන්සේ විසින් නොයෙක් ක්‍රමයෙන් දේශනා කරන ලදී. ස්වාමීනි, ඒ මම අද පටන් දිවිහිමියෙන් භාග්‍යවතුන් වහන්සේද, ධර්මයද, සංඝයාද සරණ යමි. භවත් ගෞතමයන් වහන්සේ දිවිහිම්කොට සරණ ගිය උපාසකයෙකු කොට මා දරණ සේක්වා”