සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

2. පාසාද කම්පන වර්ගය

4. පාසාද කම්පන සූත්‍රය

මා විසින් මෙසේ අසන ලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මිගාර මාතු පාය නම්වූ පූර්වාරාමයෙහි වැඩ සිටිසේක. එකල්හි බොහෝ භික්ෂූහු මිගාරමාතු පහය තුල ඔසවාගත් හිස් මානය ඇතිව පාත්‍ර සිව්රු සැරසීම් ආදි චපලගති ඇතිව කෲර වචන ඇතිව නිරර්ථක වචන කියමින් සිහි මුළාව නුවණින් තොරව සමාධියෙන් තොරව තැතිගත් සිත් ඇතිව නොදැමුනු ඉඳුරන් ඇතිව වාසය කරත්.

“එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරයන්ට ඇමතූසේක. “මොග්ගල්ලානය මේ සබ්බ්‍රහ්මචාරීහු මිගාරමාතු පහය යට හිස් මානයෙන් යුක්තව චපලව කෲර වචන ඇතිව හිස් වචන කියමින් සිහියෙන් තොරව සමාධියෙන් තොරව නුවණින් තොරව නොදැමුණු ඉඳුරන් ඇතිව වාසයකරත්. ‘මොග්ගල්ලානය, යව. ඒ භික්ෂූන් සංවේගයට පත්කරව’යයි වදාළේය. ආයුෂ්මත් මොග්ගල්ලාන ස්ථවිරතෙමේ “එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරුදී යම්සේ පා සුලඟිල්ලෙන් මිගාරමාතු පහය සෙලවීද මනාකොට කම්පා කෙළේද මනාකොට සෙලවීද, එබඳු ඍද්ධීන් විය. ඉක්බිති ඒ භික්ෂූහු සංවේගයට පැමිණියාහු ලොමුඩැහැ ගත්තාහු එක්පසෙක හුන්නාහුය. “පින්වත්නි, ඒකාන්තයෙන් ආශ්චර්‍ය්‍යයකි. පින්වත්නි, ඒකාන්තයෙන් අද්භූතයකි. වාතයක්ද නැත. මේ මිගාරමාතු පහය ගැඹුරු පොළොවෙහි පිහිටියේය. මනාව පිහිටුවා ඇත්තේය. නොසෙල් වෙන්නේය. කම්පා නොවන්නේය. එසේද වුවත් සෙලවුණි කම්පාවිණියි” කීහ.

එකල්හි වනාහි භාග්‍යවතුන් වහන්සේ ඒ භික්ෂූන් යම් තැනකද එතැනට වැඩිසේක. වැඩ, ඒ භික්ෂූන්ට මෙසේ වදාළසේක. “මහණෙනි, තෙපි සංවේගයට පැමිණියාහු ලොමු ඩැහැගත්තාහු එක් පසෙක කුමක් නිසා සිටින්නහුද?” යනුයි.

“ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයකි, ස්වාමීනි, අද්භූතයකි. වාතයක්ද නැත. මේ මිගාරමාතු පහය ගැඹුරු පොළොවෙහි පිහිටියේය. ශක්තිමත්ව ගොඩනගා ඇත්තේය. මනාකොට පිහිටුවා ඇත්තේය. නිශ්චලය. නොසෙල් වෙන්නේය. එසේ වුවත් සෙලවුණි. කම්පාවුණියයි” කීහ.

“මහණෙනි, තොප සංවෙගයට පමුණුවනු කැමතිවූ මහා මොග්ගල්ලාන භික්ෂුව විසින් පා සුලඟිල්ලෙන් මිගාර මාතු පහය කම්පා කරන ලදී. මනාකොට කම්පා කරන ලදී. මනාකොට සොලවන ලදී.

“මහණෙනි, එය කුමකැයි සිතව්ද? මහා මොග්ගල්ලාන භික්ෂුව කුමන ධර්මයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේවේද?”

“ස්වාමීනි, ධර්මය භාග්‍යවතුන්වහන්සේ මුල්කොටම පවතී. භාග්‍යවතුන් වහන්සේ පමුණුවන්නා කොට ඇත්තාහුය. භාග්‍යවතුන් වහන්සේ පිළිසරණකොට ඇත්තාහුය. ස්වාමීනි, මේ කීමේ අදහස භාග්‍යවතුන් වහන්සේ විසින්ම කියා දෙතොත් ඉතා හොඳය. භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේගෙන් අසා දරන්නාහුය.

“මහණෙනි සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මහා මොග්ගල්ලාන භික්ෂුව මෙසේ මහත් ඍද්ධි ඇත්තේ මහත් ආනුභාව ඇත්තේ විය. කවර සතරක්ද යත්.

“මහණෙනි, මෙහි මහාමොග්ගල්ලාන භික්ෂුව ‘මේ ආකාරයෙන් මාගේ ඡන්දය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකුළුණේ නොවන්නේය. පිටතට විසිරගියේ නොවන්නේය. පසු පෙර එක හා සමාන සඤ්ඤාවෙන් වාසය කරයි. මෙසේ නොවසන ලද විවෘතකළ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි.

“මේ ආකාරයෙන් මාගේ වීර්‍ය්‍යයෙන් ඉතා හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුනේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකුළුනේ නොවන්නේය. පිටතට විසිරිගියේ නොවන්නේය. පසු පෙර එක හා සමාන සඤ්ඤාවෙන් වාසය කරයි. මෙසේ නොවසන ලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි වීර්‍ය්‍යය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.

“මේ ආකාරයෙන් මාගේ සිත නොහැකුළුණේ වෙයි. අතිශයින් එසවුණේ නොවෙයි. අධ්‍යාත්මයෙහි හැකුළුනේ නොවෙයි. පිටතට විසිරගියේ නොවෙයි. පසු පෙර එක හා සමාන සඤ්ඤාවෙන් වාසය කරයි. මෙසේ නොවසනලද විවෘත කළ සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඍද්ධිපාදය වඩයි.

“මේ ආකාරයෙන් මාගේ වීමංසය අතිශයින් හැකුළුණේ නොවන්නේය. අතිශයින් එසවුණේ නොවන්නේය. අධ්‍යාත්මයෙහි හැකුළුණේ නොවන්නේය. පිටතට විසිරගියේ නොවන්නේය. පසු පෙර එක හා සමාන සඤ්ඤාවෙන් වාසය කරයි. පෙර මෙන් පසුද පසුව මෙන් පෙරද, යටිකයෙහි මෙන් උඩුකයෙහිද උඩුකයෙහි මෙන් යටි කයෙහිද, දවල් මෙන් රෑද රෑ මෙන් දවල්ද, හැඟීම් ඇතිව වාසය කරයි. මෙසේ විවෘතවූ නොවසනලද සිතින් බැබලීම් සහිත සිත වඩන්නේයයි වීමංසන අධිපතිකොට ඇති සමාධියෙන් සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයි.

“මහණෙනි, මේ සතර ඍද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව මහත් ඍද්ධි ඇත්තේ වෙයි. මහත් ආනුභාව ඇත්තේ වෙයි. මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන්ගේ වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව නොයෙක් වැදෑරුම් ඉද්ධි විධි අනුභව කරයි.

“එක්කෙනෙක්ව බොහෝ දෙනෙක් වෙත් බොහෝ දෙනෙක්ව එක්කෙනෙක්ද වේ. ප්‍රකට බවට මුවහ බවට අහසෙහි මෙන් බිත්තියෙන් ඔබට පර්වතයෙන් ඔබට ප්‍රාකාරයෙන් ඔබට නොගැටී යයි. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් කිමිදීම් කරයි. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් යයි. පක්ෂියෙකු මෙන් අහසෙහියේද පර්‍ය්‍යංකයෙන් හිඳගෙන යයි. මහත් ඉද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කරයි. පිරිමදියි. බ්‍රහ්මලෝක පවා කයින් වසඟ බවට පමුණුවයි.

“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වනාහි වැඩූ බැවින් බහුල වශයෙන් වැඩූ බැවින් මොග්ගල්ලාන භික්ෂුව ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියට, අර්හත් ඵල ප්‍රඥාවට පැමිණ වාසය කෙරේයයි” වදාළසේක.