සංයුත්තනිකායො

මහා වර්ගය

7. ඉද්ධිපාද සංයුත්තය

3. අයොගුළ වර්ගය

3. ඉද්ධිපාද ආසවක්ඛය සූත්‍රය

“මහණෙනි, මේ ඉද්ධිපාදයෝ සතරකි. කවර සතරක්ද? මහණෙනි, මේ සාසනයෙහි මහණතෙම ඡන්දය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ඉද්ධිපාදය වඩයිද, විරිය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ඉද්ධිපාදය වඩයිද, සිත අධිපති කොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් ඉද්ධිපාදය වඩයිද, වීමංසය අධිපතිකොට ඇති සමාධියෙන් හා සම්‍යක් ප්‍රධාන වීර්‍ය්‍යයෙන් යුත් ඉද්ධිපාදය වඩයිද, මහණෙනි, මේ සතර ඉද්ධිපාදයෝයි.

“මහණෙනි, මේ සතර ඉද්ධිපාදයන් වැඩූ බැවින් බහුල වසයෙන් වැඩූ බැවින් මහණ තෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත් ඵල සමාධියෙන් අර්හත් ඵල ප්‍රඥාවත් මේ ආත්ම භාවයෙහිම තෙමේ විශෙෂ නුවණින් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නේය.”