සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
3. අයොගුළ වර්ගය
2. අයොගුල සූත්‍රය
(මෙතැන් සිට මේ සූත්‍ර සියල්ල ජේතවනාරාමයේදී දේසනා කරනලදී.)
ඉක්බිති ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනකද එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන්වහන්සේට වැඳ එක් පසෙක හුන්නේය. එක් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය.
“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේද?”
“ආනන්දය, ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් මම බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කෙමි.”
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට මේ සතර මහා භූතයන්ගෙන් ඇතිවූ කයින් ඉද්ධියෙන් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේද?”
“ආනන්දය මම මේ සතරමහා භූතයන්ගෙන් හටගත් කයින් ඉද්ධියෙන් බ්‍රහ්ම ලෝකයට පැමිණිය හැක්කේ වෙමියි” වදාළේය.
“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට ඉද්ධියෙන් සිතින් උපදවාගත් කයින් බ්‍රහ්මලෝකයට පැමිණිය හැකි බවත් ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේට මේ සතර මහා භූතයන් ගෙන් ඇතිවූ කයින් ඉද්ධියෙන් බ්‍රහ්මලෝකයට පැමිණිය හැකි බවත් භාග්‍යවතුන්වහන්සේගේ ආශ්චර්‍ය්‍යයක්ද අද්භූතයක්ද වේ.”
“ආනන්දය, තථාගතවරයෝ ආශ්චර්‍ය්‍යද වෙත්. ආශ්චර්‍ය්‍ය ධර්මයන්ගෙන් සමන්විතද වෙත්. ආනන්දය, තථාගතවරයෝ අද්භූතද වෙත්. අද්භූත ධර්මයන්ගෙන් සමන්විතද වෙත්. ආනන්ය, තථගත තෙමේ යම් කලෙක්හි කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ, සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත්* කයෙහි බස්වා වාසය කරයි. ආනන්දය, එකල්හි තථාගතයන්වහන්සේගේ කය අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද අතිශයින් කටයුතුවලට යෝග්‍යද අතිශයින් පැහැ විහිදුවන්නේද වෙයි.
* අභිඥා සිත සමඟ යෙදුණු සඤ්ඤාව සුඛ සඤ්ඤාව ලහු සඤ්ඤාවයයි කියනු ලැබේ.
“ආනන්දය, යම් සේ දවසක් මුළුල්ලෙහි රත්කරන ලද යකඩ ගුලියක් අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද කටයුතුවලට යොග්‍යද අතිශයින් පැහැ විහිදුවන්නේ වෙයිද, ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක්හි තථාගත තෙමේ කය සිතෙහි පිහිටුවයිද, සිත කයෙහි පිහිටුවයිද සුඛ සංඥාවත් ලහු සංඥාවත් කයෙහි බස්වා වාසය කරයිද ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය අතිශයින් සැහැල්ලුද අතිශයින් මෘදුද අතිශයින් කටයුතුවලට යොග්‍යද අතිශයින් පැහැ විහිදුවන්නේද වෙයි.
“ආනන්දය, යම් කලෙක්හි තථාගතයන් වහන්සේ කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත් කයෙහි බස්වා වාසය කෙරේද, ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය පහසුවෙන්ම පොළොවෙන් අහසට පැනනගියි. හෙතෙම නොයෙක් ඉර්ධි විධි අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝ දෙනෙක්ව එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්‍රකටවීම, මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව කයින් වසඟ බව පැවැත්වූවාහුය.
“ආනන්දය, යම් සේ ඉඹුල් පුළුන් හෝ කපු පුළුන් සැහැල්ලු වූයේ වාතයෙන් ගන්නා ලද්දේ පහසුවෙන් පොළොවෙන් අහසට නගියි. ආනන්දය, එපරිද්දෙන්ම යම් කලෙක්හි තථාගතයන්වහන්සේ කය සිතෙහි පිහිටුවයිද සිත කයෙහි පිහිටුවයිද සුඛ සඤ්ඤාවත් ලහු සඤ්ඤාවත් කයෙහි බස්වා වාසය කෙරේද, ආනන්දය එකල්හි තථාගතයන් වහන්සේගේ කය පහසුවෙන් පොළොවෙන් අහසට නගියි. හෙතෙම නොයෙක් ඍද්ධි විධි අනුභව කරයි. එකෙක්ව බොහෝදෙනෙක් වූහ. බොහෝදෙනෙක් එකෙක් විය. අහසෙහි යම් සේද එසේ ප්‍රකටවීම. මුවහවීම, බිත්තියෙන් ඔබට පවුරෙන් ඔබට පර්වතයෙන් ඔබට නොගැටී ගියාහුය. ජලයෙහි මෙන් පොළොවෙහි ගිලීම් මතුවීම් කළාහුය. පොළොවෙහි මෙන් ජලයෙහි දිය නොබිඳිමින් ගියාහුය. අහසෙහි පක්ෂියකු මෙන් පර්‍ය්‍යාංකයෙන් ගියාහුය. මහත් ඍද්ධි ඇති මහත් ආනුභාව ඇති මේ සඳ හිරු දෙදෙනා පවා අතින් ස්පර්ශ කළාහුය. පිරිමැද්දාහුය. බඹලොව කයින් වසඟ බව පවත්වන්නේයයි” වදාළේය.