සංයුත්තනිකායො

මහා වර්ගය

10. ආනාපාන සංයුත්තය

2. දුතිය ඒක ධමම වර්ගය

1. ඉච්ඡානංගල සූත්‍රය

මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ ඉච්ඡානංගල ජනපදයෙහි ඉච්ඡානංගල වනලැහැබෙහි වැඩසිටිසේක එහිදී වනාහි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට අමතා මෙසේ වදාළසේක. “මහණෙනි මම විවෙකව සිටීමට කැමැත්තෙමි. පිණ්ඩපාතය ගෙනෙන්නාවූ එක් භික්ෂුවක් හැර කිසිවකු මා වෙත නොපැමිණිය යුතුයි.”

“එසේය ස්වාමීනි”යි ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී පිණ්ඩපාතය ගෙනයන එක් භික්ෂුවක් හැර භාග්‍යවතුන් වහන්සේ වෙත කිසිවෙක් නොඑළඹියේය.

එකල්හි භාග්‍යවතුන් වහන්සේ ඒ තෙමස ඉක්මීමෙන් විවෙකයෙන් නැගී සිටිසේක් භික්ෂූන්ට කථාකොට මෙසේ වදාළේය.

“ඉදින් මහණෙනි, නුඹලාගෙන් අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයෝ ඇවැත්නි, ශ්‍රමණ ගෞතම තෙමේ වස් කාලය තුළ කවර විහරණයකින් බහුලව විසුවේදැයි මෙසේ අසන්නාහු නම් මහණෙනි, මෙසේ විචාරණ ලද්දාවූ තෙපි ඒ අන්‍ය තීර්ථක පරිබ්‍රාජකයන්ට මෙසේ කියව්. ‘ඇවැත්නි, භාග්‍යවතුන් වහන්සේ වනාහි වස්කාලය තුළ බහුලව අනාපාන සති සමාධියෙන් විසූ සේක’ කියායි.

“මහණෙනි, මම මෙහිදී සිහියෙන් යුක්තව ආශ්වාස කරමි. සිහියෙන් යුක්තව ප්‍රශ්වාස කරමි. දීර්ඝව ආශ්වාස කරන්නේ හෝ දීර්ඝව ආශ්වාස කරමියි දැනගනිමි. දීර්ඝව ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝව ප්‍රස්වාස කරමියි දැනගනිමි මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම ආරණ්‍යයට ගියේ හෝ ගහක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංකබැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආස්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝ කොට ආස්වාසකරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. දීර්ඝකොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආස්වාස කරන්නෙමියි දන්නේය හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.

“මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමියි යන අදහසින් ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය. සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැන ගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරොධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි.

“මහණෙනි, යම් විහරණයකට ආර්‍ය්‍ය විහාරය කියාද, බ්‍රහ්ම විහාරය කියාද, තථාගත විහාරය කියාද, මනාව කියන්නේ නම් ආනාපාන සති සමාධියට ආර්‍ය්‍ය විහාරයයිද බ්‍රහ්ම විහාරයයිද තථාගත විහාරයයිද කියයුතු වන්නේය.

“මහණෙනි, යම් ඒ රහත්බවට නොපැමිණියාවූ, ශෛක්ෂ භික්ෂූහු නිරුත්තරවූ නිර්වාණය ප්‍රාර්ථනා කරමින් වාසය කරත්ද, වඩනලද්දාවූ බහුල වසයෙන් වඩනලද්දාවූ ආනාපානාසතිසමාධිය ඔවුන්ගේ ආශ්‍රවයන් ක්ෂයවීම පිණිස පවත්නේය.

“මහණෙනි, යම් ඒ අර්හත්වූ ක්ෂයකළ ආශ්‍රවයන් ඇති බඹසර වැස නිමවූ කරනලද කටයුතු ඇති බහා තැබූ කෙලෙස් බර ඇති තමාගේ අර්ථයට පැමිණියාවූ සියලු සසර බැඳුම් ඇති මනාකොට දැන මිදුනාවූ භික්ෂූහු වෙත්ද, වඩන ලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ ආනාපානසතිසමාධිය ඔවුන්ට මේ අත්බැව්හිම සැප විහරණය පිණිසද සිහි නුවණ දෙක පිණිසද පවත්නේය.

“මහණෙනි, යමකට ආර්‍ය්‍යවිහාරයයයිද බ්‍රහ්මවිහාරයයයිද තථාගතවිහාරයයයිද මනාව කියන්නේ නම් ආනාපානසති සමාධියටම ආර්‍ය්‍යවිහාරයයයිද බ්‍රහ්මවිහාරයයයිද තථාගත විහාරයයයිද මනාව කියයුතු වන්නේය.”