සංයුත්තනිකායො
මහා වර්ගය
10. ආනාපාන සංයුත්තය
1. එකධම්ම වර්ගය
7. කප්පින සූත්‍රය
මා විසින් මෙසේ අසන ලදී. එක්කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර සමීපයෙහිවූ අනේපිඬු සිටාණන් විසින් කරවනලද ජේතවනාරාමයෙහි වැඩවසනසේක.
එසමයෙහි වනාහි ආයුෂ්මත් මහා කප්පින ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට නුදුරු තන්හි පළඟ බැඳ කය ඍජුව තබාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හුන්නේ වෙයි. පළඟ බැඳගෙන කය ඍජුව තබාගෙන සිහිය ඉදිරිපත් කොට තබාගෙන නුදුරු තන්හි හුන්නාවූ ආයුෂ්මත් කප්පින තෙරුන් භාග්‍යවතුන්වහන්සේ දුටුසේක. දැක, භික්ෂූන් ඇමතූසේක.
“මහණෙනි, තෙපි මේ භික්ෂුවගේ ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ දකින්නහුද?”
“ස්වාමීනි, අපි යම් කලෙක්හි සංඝයා මැද හුන්නාවූ හෝ හුදෙකලාව රහසිගතව හුන්නාවූ හෝ ඒ ආයුෂ්මතුන් දකිමුද ඒ කවර කලෙක්හිදු අපි ඒ ආයුෂ්මතුන්ගේ ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොදකිමුයි” කීහ.
“මහණෙනි, යම් සමාධියක් වැඩූ බැවින් බහුල වසයෙන් වැඩූ බැවින් ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද චිත්තයාගේ සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ නම්, මහණෙනි ආනාපාන සති සමාධිය වැඩූ බැවින් බහුල වසයෙන් වැඩූ බැවින් ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ. චිත්තයාගේ සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද, මහණෙනි, ආනාපාන සති සමාධිය කෙසේ වැඩූ කල්හි කෙසේ බහුල වසයෙන් වැඩූ කල්හි කයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද? සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේද?
“මහණෙනි, මේ සාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝකොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආශ්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.
“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමියි යන අදහසින් ආශ්වාස කරන්නෙමියි හික්මෙන්නේය.
“සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැන ගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ප්‍රස්වාසකරන්නෙමියි හික්මෙයි.
“මහණෙනි, මෙසේ ආනාපානසති සමාධිය වැඩූ කල්හි බහුල වශයෙන් වැඩූ කල්හි ශරීරයෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේ සිතෙහි සෙලවීමක් හෝ කම්පාවීමක් හෝ නොවේයයි” වදාළේය.