සංයුත්තනිකායො

මහා වර්ගය

10. ආනාපාන සංයුත්තය

1. එකධම්ම වර්ගය

8. කාය ජීවිත පරියන්තික සූත්‍රය

(මේ ඡෙදය මේ වර්ගයේ 1 සූත්‍රයේ 1 ඡෙදය මෙනි.)

“මහණෙනි, වඩන ලද්දාවූ බහුල වසයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය මහත්ඵල මහානිසංස ඇත්තේ වෙයි. මහණෙනි, කෙසේ වඩන ලද්දාවූ, කෙසේ බහුල වසයෙන් වඩන ලද්දාවූ ආනාපාන සති සමාධිය මහත් ඵල මහානිසංස ඇත්තේ වේද

“මහණෙනි, මේ සාසනයෙහි මහණ තෙමේ ආරණ්‍යයට ගියේ හෝ ගසක් මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආස්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රස්වාස කරන්නේය. දීර්ඝකොට ආස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආස්වාස කරන්නෙමි’යි දන්නේය. දීර්ඝකොට ප්‍රස්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රස්වාස කරන්නෙමි’යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආස්වාස කරන්නේ හෝ හ්‍රස්වකොට ආස්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නෙමියි දන්නේය.

“මුල මැද අග යන සියලු ආස්වාස ප්‍රස්වාස කය දැන ගනිමියි යන අදහසින්ද ආස්වාස කරන්නෙමියි හික්මෙන්නේය.

“සියලු ආස්වාස ප්‍රස්වාස කය දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආස්වාස ප්‍රස්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි, ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආස්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ප්‍රස්වාස කරන්නෙමියි හික්මෙයි. මහණෙනි, මෙසේ වඩන ලද්දාවූ මෙසේ බහුල වශයෙන් වඩන ලද්දාවූ ආනාපාන සතිය මහත් ඵල මහානිසංස ඇත්තේ වෙයි.

“මහණෙනි, මමද බුදුවීමට පළමුවම බුදු නොවූයේ බොධිසත්ව වූයේ බහුල වසයෙන් මේ විහරණයෙන් වාසය කෙළෙමි. මහණෙනි, මේ විහරණයෙන් බහුල වසයෙන් වාසය කරන්නාවූ මගේ කය ක්ලාන්ත නොවීය. ඇස්ද ක්ලාන්ත නොවීය. මාගේ සිත කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් මිදුනේය.

“මහණෙනි, එසේ නම් භික්ෂුවද ‘මාගේ ශරීරය ක්ලාන්ත නොවන්නේය. ඇස්ද ක්ලාන්ත නොවන්නේය. මගේ සිත කෙලෙසුන්ගෙන් සම්පූර්ණයෙන් මිදෙන්නේයයි’ කැමැති වන්නේ නම් මේ ආනාපානසති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.

“මහණෙනි, එසේනම් භික්ෂුවද යම් ඒ පඤ්චකාම නිශ්‍රීතවූ විතර්කයෝ වෙත්ද, ඔවුන් ප්‍රහීණ කිරීමට කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි. මහණෙනි, එහෙයින් භික්ෂුවද නොපිළිකුලෙහි පිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමති වේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.

“මහණෙනි, එහෙයින් භික්ෂුවද පිළිකුලෙහි නොපිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමති වේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළයුතුයි. මහණෙනි, එහෙයින් භික්ෂුව නොපිළිකුලෙහිද පිළිකුලෙහිද පිළිකුලෙහිද පිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමතිවේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට වැඩිය යුතුයි

“මහණෙනි, එහෙයින් භික්ෂුව පිළිකුලෙහිද නොපිළිකුලෙහිද නොපිළිකුල් හැඟීමෙන් වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.

“මහණෙනි, එහෙයින් භික්ෂුව නොපිළිකුලද පිළිකුලද යන දෙකම මනාකොට දුරුකොට මධ්‍යස්ථව සිහියෙන් යුක්තව මනා නුවණැතිව වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.

“මහණෙනි, එහෙයින්ම භික්ෂුව කාමයන්ගෙන් වෙන්ව අකුසල ධර්මයන්ගෙන් වෙන්ව විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීති සුවය ඇති පඨමධ්‍යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුය.

“මහණෙනි, එහෙයින් භික්ෂුව විතර්ක විචාරයන්ගේ සංසිඳීමෙන් අධ්‍යාත්මයෙහි පැහැදීම ඇති සිතෙහි එකඟ බැව් ඇති විතර්කය නැති විචාරය නැති විවේකයෙන් උපන් ප්‍රීති සැපය ඇති ද්විතීයධ්‍යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුය.

“මහණෙනි, එහෙයින්ම භික්ෂුව ප්‍රීතියෙහිද නොඇලීමෙන් මධ්‍යස්ථවද වාසය කරන්නේද? සිහියෙන් යුක්තව මනා නුවණ ඇතිව වාසය කයින් විඳියිද? “මධ්‍යස්ථව සිහියෙන් යුක්තව සැපසේ වාසය කරන්නේයයි” ආර්‍ය්‍යයෝ යමක් කියත්ද, ඒ තෘතීයධ්‍යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපානසතිසමාධියම වැඩිය යුතුයි.

“මහණෙනි, එහෙයින්ම භික්ෂුව සැපයාගේද දුක්ඛයාගේද ප්‍රහාණයෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ නැති කිරීමෙන් දුක්ද නොවූ සැපද නොවූ උපෙක්ඛා සතියෙන් පිරිසිදුවූ චතුර්ථධ්‍යානයට පැමිණ වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.

“මහණෙනි, එහෙයින්ම භික්ෂුව සියලු ආකාරයෙන් රූප සඤ්ඤාවන්ගේ ඉක්මවීමෙන් පටිඝ සඤ්ඤාවන්ගේ නැති කිරීමෙන් නානත්ත සඤ්ඤාවන් සිහි නොකිරීමෙන් ආකාශය අනන්තයයි ආකාසානඤ්චායතනයට පැමිණ වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.

“මහණෙනි, එසේම භික්ෂුව සියලු ආකාරයෙන් ආකාසානාඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤානඤ්චායතනයට පැමිණ වාසය කරමියි කැමතිවන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.

“මහණෙනි, එහෙයින්ම භික්ෂුව සියලු ආකාරයෙන් විඤ්ඤානඤ්චායතනය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතනයට පැමිණ වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.

“මහණෙනි, එහෙයින්ම භික්ෂුව සියලු ආකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නෙවසඤ්ඤානාසඤ්ඤායතනයට පැමිණ වාසය කරමියි කැමති වන්නේනම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.

“මහණෙනි, එහෙයින් භික්ෂුව සියලු ආකාරයෙන් නෙවසඤ්ඤානාසඤ්ඤායතනය ඉක්මවා සඤ්ඤාවේදයිත නිරෝධයට පැමිණ වාසය කරමියි කැමති වන්නේ නම් මේ ආනාපාන සති සමාධියම මනාකොට මෙනෙහි කළ යුතුයි.

“මහණෙනි, මෙසේ ආනාපාන සති සමාධිය වැඩූ කල්හි බහුල වශයෙන් වැඩූ කල්හි ඉදින් සුඛ වේදනාවක් විඳීද, එය අනිත්‍යයයි දැනගනියි. තණ්හාවෙන් නොබැසගත යුතුයයි දැනගනියි. සතුටු නොවිය යුතුයයි දැනගනියි. ඉදින් දුක් වේදනාවක් විඳීද? එය අනිත්‍යයයි දැනගනියි. නොබැසගත යුතුයයි දැනගනියි. සතුටු නොවිය යුතුයයි දැනගනියි. දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳිනු ලැබේද, එය අනිත්‍යයයි දැනගනියි. නොබැසගත යුත්තකැයි දැනගනියි. සතුටු නොවිය යුතුයයි දැනගනියි.

“ඉදින් හෙතෙම සැප වේදනාවක් විඳියිද, එය ආශාවෙන් නොබැඳී විඳියි. දුක් වේදනාවක් විඳියිද, එය ආශාවෙන් වෙන්ව විඳියි. ඉදින් දුක්ද නොවූ සැපද නොවූ වේදනාවක් විඳියිද එය ආශාවෙන් වෙන්ව විඳියි.

“හෙතෙම කය කෙළවරකොට ඇති වේදනාවක් විඳින්නේ කය කෙළවරකොට ඇති වේදනාවක් විඳිමියි දැනගනියි. ජීවිතය කෙළවරකොට ඇති වේදනාවක් විඳින්නේ ජීවිතය කෙළවරකොට ඇති වේදනාවක් විඳින්නේමියි දැනගනියි. කය බිඳීමෙන් ජීවිතය කෙළවරවීමෙන් පසු මෙහිදීම නොඇලෙන්නාවූ සියලු වේදනා සන්සිඳෙන්නාහුයයි දැනගනියි.

“මහණෙනි, යම්සේ තෙල්ද තිරයද නිසා තෙල් පහන දැල්වේද, ඒ තෙල්ද තිරයද කෙළවරවීමෙන් හේතුව නැතිව නිවෙන්නේද, මහණෙනි, එපරිද්දෙන්ම මහණතෙමේ කය කෙළවරකොට ඇති වේදනා විඳින්නේ කය කෙළවර කොට ඇති වේදනා විඳින්නෙමියි දැනගනියි. ජීවිතය කෙළවරකොට ඇති වේදනා විඳින්නේ ජීවිතය කෙළවර කොට ඇති වේදනා විඳින්නෙමියි දැනගනියි. ශරීරයාගේ බිඳීමෙන් ජීවිතයාගේ කෙළවරවීමෙන් පසු මෙහිදීම නොඇලෙන්නාවූ සියලු වේදනා සංසිඳෙන්නාහුයයි දැන ගනීයයි වදාළේය.