සංයුත්තනිකායො

මහා වර්ගය

10. ආනාපාන සංයුත්තය

1. එකධම්ම වර්ගය

6. අරිට්ඨ සූත්‍රය

“මහණෙනි, තෙපි අනාපාන සතිය භාවනා කරව්ද?” මෙසේ වදාළ කල්හි ආයුෂ්මත් අරිට්ඨ භික්ෂු තෙමේ භාග්‍යවතුන්වහන්සේට මෙය කීය. “ස්වාමීනි, මම ආනාපාන සතිය වඩන්නෙමි” යනුයි. “අරිට්ඨ, නුඹ කෙසේ නම් ආනාපාන සතිය වඩන්නෙහිද?” “ස්වාමීනි, මාගේ අතීත කාම වස්තූන් කෙරෙහි කාමච්ඡන්දය පහවීය. මාගේ අනාගත කාම වස්තූන් කෙරෙහි කාමච්ඡන්දය පහවීය. මාගේ අධ්‍යාත්මික බාහිර ආයතනයන් කෙරෙහි ප්‍රතිඝ සඤ්ඤාව මනාකොට හික්මවන ලදී. ඒ මම සිහියෙන් යුක්තවම ආශ්වාස කරන්නෙමි. සිහියෙන් යුක්තවම ප්‍රශ්වාස කරන්නෙමි. ස්වාමීනි, මම මෙසේ ආනාපාන සතිය වඩමි” යනුයි.

“අරිට්ඨය, මෙසේවූ ආනාපාන සතියක්ද ඇත. මෙය ආනාපාන සතිය නොවේයයි නොකියමි. අරිට්ඨය එසේවුවත් යම්සේ ආනාපාන සතිය විස්තර වසයෙන් සම්පූර්ණ වේද, එය අසව, මනාකොට මෙනෙහි කරව කියන්නෙමි.

“අරිට්ඨය, කෙසේනම් ආනාපාන සතිය විස්තර වසයෙන් සම්පූර්ණවේද? අරිට්ඨය, මේ සාසනයෙහි මහණතෙමේ ආරණ්‍යයකට ගියේ හෝ ගසක්මුලකට ගියේ හෝ හිස් ගෙයකට ගියේ හෝ පර්‍ය්‍යංක බැඳ ශරීරය කෙලින් පිහිටුවාගෙන සිහිය ඉදිරිපත්කොට තබාගෙන හිඳින්නේය. හෙතෙම සිහියෙන්ම ආශ්වාස කරන්නේය. සිහියෙන්ම ප්‍රශ්වාස කරන්නේය. දීර්ඝකොට ආශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ආශ්වාස කරන්නෙමි’ යි දන්නේය. දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නේ හෝ දීර්ඝකොට ප්‍රශ්වාස කරන්නෙමි’ යි දන්නේය. හ්‍රස්ව (ලුහුඬු) කොට ආශ්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ආශ්වාස කරන්නෙමියි දන්නේය. හ්‍රස්ව කොට ප්‍රස්වාස කරන්නේ හෝ හ්‍රස්ව කොට ප්‍රශ්වාස කරන්නෙමියි දන්නේය.

“මුල මැද අග යන සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැන ගනිමියි යන අදහසින් ආශ්වාසකරන්නෙමියි හික්මෙන්නේය.

“සියලු ආශ්වාස ප්‍රශ්වාස කය දැනගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ඖදාරික ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. ප්‍රීතිය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සුවය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි සුවය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි චිත්ත සංස්කාරය ප්‍රකට කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. චිත්ත සංස්කාරය සංසිඳුවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැනගනිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත දැන ගනිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත සතුටු කරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි සිත සතුටු කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි සිත එකඟකරමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත එකඟ කරමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි සිත කෙලෙසුන් කෙරෙන් මුදවමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. අනිත්‍ය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නොඇලීම දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. නිරෝධය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි පටිනිස්සග්ගය (හැරදැමීම) දකිමින් ආශ්වාස කරන්නෙමියි හික්මෙයි. පටිනිස්සග්ගය දකිමින් ප්‍රශ්වාස කරන්නෙමියි හික්මෙයි. අරිට්ඨය, මෙසේ වනාහි ආනාපාන සතිය විස්තර වශයෙන් සම්පූර්ණ වේයයි” වදාළේය.