සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

1. සමාධි වර්ගය

3. පඨම කුලපුත්තාභිසමය සූත්‍රය

[2] “මහණෙනි, පූර්වකාලයෙහි යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙය හැර පියා මනාකොට සස්නෙහි පැවිදි වූවාහුද, ඒ සියලු දෙන වනාහි චතුස්සත්‍ය තත්වූ පරිදි දැන ගැනීම සඳහා පැවිදි වූවාහුය.

[3] “මහණෙනි, යම්කිසි කුලපුත්‍රයෝ ගිහිගෙයි හැරපියා මනාකොට සස්නෙහි පැවිදි වන්නාහුද ඒ සියළුදෙනා වනාහි චතුස්සත්‍ය තත්වූ පරිදි දැනගැනීම සඳහා පැවිදි වන්නාහුය.

[4] “මහණෙනි, දැනුදු යම්කිසි කුලපුත්‍ර කෙනෙක් ගිහි ගෙය හැර මනාකොට සස්නෙහි පැවිදි වෙත්ද ඒ සියලුදෙනද චතුස්සත්‍ය තත්වූ පරිදි දැනගැනීම සඳහා පැවිදිවෙති.

“කවර සතරක්ද? දුක්ඛ ආර්‍ය්‍යය සත්‍යයද දුක්ඛ සමුදයාර්‍ය්‍ය සත්‍යයද දුක්ඛ නිරොධාර්‍ය්‍ය සත්‍යයද දුක්ඛ නිරොධ ගාමිණි පටිපදා ආර්‍ය්‍යය සත්‍යයද වෙති.

[5] “මහණෙනි, යම්කිසි අතීත කාලයෙහි කුලපුත්‍රයෝ ගිහිගෙය හැරපියා මනාකොට සස්නෙහි පැවිදි වූවාහුද (අනාගතයෙහි) පැවිදි වන්නාහුද (දැන්) පැවිදිවෙත්ද ඒ සියලුදෙන මේ චතුරාර්‍ය්‍ය සත්‍යයන් තත්වූ පරිදි දැනුම සඳහා (පැවිදිවූහ පැවිදිවන්නාහ. පැවිදි වෙත්.)

[6] ‘මහණෙනි එබැවින් තොප විසින් මේ දුකයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි. මේ දුක් ඉපදීමේ හේතුවයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි. මේ දුක්ඛ නිරොධයයයි තත්වූ පරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි. මේ දුක් නැතිකිරීමට පැමිණෙන පිළිවෙතයයි තත්වූපරිදි දැනුම සඳහා උත්සාහ කටයුතුයි.