සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

6. අභි සමය වර්ගය

1. නඛ සිඛොපම සූත්‍රය

[1] එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් නගා භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පසත් මහ පොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේද?” කියායි.

[2] “ස්වාමීනි, යම් ඒ මහා පෘථුවියක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද මේ පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”

[3] “මහණෙනි, එපරිද්දෙන්ම යමෙක් මේ දුකයයි තත්වූ පරිදි දනීද, දුක ඇතිවීමේ හේතුව තත්වූ පරිදි දනීද, දුක නැතිකිරීම තත්වූ පරිදි දනීද, දුක නැතිකරන මාර්ගය තත්වූ පරිදි දනීද,

ඒ චතුස්සත්‍යය අවබොධ කළ ඒ සෝවාන් ආර්‍ය්‍ය පුද්ගලයා විසින් ක්ෂය කරන ලද කෙළවර කරන ලද යම් ඒ දුකක්වේද එයම අතිශයින් බොහෝ වෙයි. භව සතකට සීමාවූ ඉතිරි දුක ඉතා ස්වල්ප වෙයි. පළමු ක්ෂය කරන ලද දුක්ඛය හා සමකරන කල මේ සත් භවයකට සීමාවූ ස්කන්ධ දුක ගණනටද නොගැනේ, උපමාවකටද නොපැමිණෙයි, කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.

[4] “මහණෙනි, එහෙයින් මෙය දුකයයි දැනීම පිණිස උත්සාහ කටයුතුයි. මෙය දුකට හේතුවයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැතිකිරීමයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි. මෙය දුක නැති කරන මාර්ගයයි දැනීම පිණිස උත්සාහ කළයුතුයි.