සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

7. චක්ක පෙය්‍යාලයේ පඨම ආමකධඤ්ඤ වර්ගය

1. අප්පකමනුස්ස (හෝ) අඤ්ඤාහු සූත්‍රය

[1] එකල්හි භාග්‍යවතුන් වහන්සේ නිය පිටට පස්ටිකක් නගා භික්ෂූන්ට කථා කොට මෙසේ වදාළේය. “මහණෙනි, ඒ කුමක් දැයි සිතන්නහුද? මා විසින් නිය පිටට ගන්නා ලද මේ ස්වල්පවූ පසත් මහ පොළොවත් යන මේ දෙකින් කුමක් නම් අතිශයින් බොහෝ වන්නේද?” කියායි.

[2] “ස්වාමීනි, යම් ඒ මහා පෘථුවියක් වන්නීද එයම අතිශයින් බොහෝ වන්නීය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නාලද මේ පස ඉතා ස්වල්ප වන්නේය. භාග්‍යවතුන් වහන්සේ විසින් නිය පිටට ගන්නා ලද පස මහා පෘථුවිය හා සමාන කරන කල ගණනකටද නොපැමිණෙයි. උපමාවකටද නොපැමිණෙයි. කලාවෙන් කලාවකටද නොපැමිණෙයි.”

[3] “මහණෙනි, එපරිද්දෙන් වනාහි යම් සත්වකෙනෙක් මිනිස් ලොව උපදිත්ද, ඒ සත්වයෝ ඉතා ස්වල්පවෙත්. යම් සත්වකෙනෙක් මිනිස්ලොවින් අන්තන්හි උපදිත්ද, ඒ සත්වයෝම අතිශයින් බොහෝවෙත්. ඊට හේතු කවරේද යත්, මහණෙනි, චතුස්සත්‍යයන් නොදක්නාලද හෙයිනි. කවර සතරක්ද?

[4] “මහණෙනි, කුමක් මා විසින් කියන ලදද? මහණෙනි, මෙය දුකයයි මා විසින් කියන ලදී මේ දුකට හෙතුවයයි මා විසින් කියන ලදී. මේ දුක නැතිවීමයයි මා විසින් කියන ලදී. මේ දුක නැති කිරීමට පැමිණෙන මාර්ගයයි මා විසින් කියන ලදී.

[5] “මහණෙනි, කුමක් නිසා මා විසින් මෙය කියන ලදද? මහණෙනි, මෙය අර්ථයෙන් යුක්තය. මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල් වූයේ වෙයි. මෙය කලකිරීම පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, සංසිඳීම පිණිස විශෙෂයෙන් දැනගැනීම පිණිස, අවබොධය පිණිස, නිවන පිණිස පවතියි.