සංයුත්තනිකායො

මහා වර්ගය

12. සච්ච සංයුත්තය

1. සමාධි වර්ගය

9. විග්ගාහිත කථා සූත්‍රය

“මහණෙනි, ‘නුඹ මේ ධර්මවිනය නොදන්නෙහිය. මම මේ ධර්මය විනය දනිමි. කිම, ඔබ මේ ධර්ම විනය දන්නෙහිද? ඔබ වරදවා පිළිපදින්නෙක් වෙහිය. මම මනාකොට පිළිපදින්නෙක් වෙමි. මුලදී කියයුත්ත පසුව කීවෙහිය, පසුව කිවයුත්ත පළමුව කීයෙහිය. මගේ කීම සත්‍යය. ඔබගේ කීම අසත්‍යය. විරුද්ධ මඟ ගැනීම නුඹගේ පුරුද්දය, ඔබට වාදය නංවන ලදී. වාදයෙන් මිදීම පිණිස උත්සාහ කරව. නිග්‍රහ කරන ලද්දෙහිය. ඉදින් හැකිනම් නිරවුල් කරවයි’ විරුද්ධ කථා නොකරව්. ඊට හේතු කවරේද?

“මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ නොවෙයි, මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වන්නේ නොවෙයි, කළකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරොධය පිණිසද, සංසිඳීම පිණිසද විශෙෂයෙන් දැනීම පිණිසද, මනා අවබොධය පිණිසද නිවන් පිණිසද නොපවතියි.

“මහණෙනි, තෙපි කථාකරන්නාහු නම් මේ දුකයයි කථා කරව්. මේ දුක් ඉපදීමේ හේතුවයයි කථා කරව්, මේ දුක් නැතිකිරීමයයි කථා කරව්, මේ දුක් නැතිකිරීමේ පිළිවෙතයයි කථා කරව්. ඊට හේතු කවරේද?

“මහණෙනි, මේ කථාව අර්ථය පිණිස පවත්නේ වෙයි මාර්ගබ්‍රහ්මචර්‍ය්‍යාවට මුල්වෙයි. කලකිරීම පිණිසද, විරාගය පිණිසද, නිරොධය පිණිසද, සංසිඳීම පිණිසද, විශෙෂයෙන් දැනීම පිණිසද, මනා අවබොධය පිණිසද, නිවන් පිණිසද පවතියි.

(මේ ඡෙදය මේ වර්ගයේ 3 වෙනි සූත්‍රයේ 6 වෙනි ඡෙදය මෙනි.)