සංයුත්තනිකායො
සගාථ වර්ගය
9. වන සංයුත්තය
9. වජ්ජිපුත්ත ( නොහොත් වේසාලී ) සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක්කලෙක එක්තරා වජ්ජි පුත්‍රක භික්‍ෂුවක් විසාලා නුවර අසල යම් කිසි වනලැහැබෙක වෙසෙයි. එකල විසාලා නුවර නැකැත් කෙළියෙක් වෙයි.
ඉක්බිති ඒ මහණතෙම විසාලානුවර තූර්‍ය්‍යයන්ගේ ගයන වයන ශබ්දය අසා හඬමින්, ඒ වේලායෙහි මේ ගාථාවන් කීය:
’’අපි ආරණ්‍යයෙහි තනිව වනෙහි දමන ලද දර කෑල්ලක් මෙන් මෙවැනි රාත්‍රියෙහි වාසය කරම්හ. අපට වැඩි අවාසනා වන්තවූ අන් කවරෙක් නම් වේද?’’
ඉක්බිති ඒ වනලැහැබෙහි අරක්ගත් දේවතාවෙක් ඒ භික්‍ෂුවට අනුකම්පා ඇත්තේ, වැඩ කැමැත්තේ සංවේග කරනු කැමැත්තේ, ඒ භික්‍ෂුව යම් තැනෙකද එතැනට පැමිණියේය.
පැමිණ ඒ භික්‍ෂුවට ගාථාවෙන් ( මෙසේ ) කීය.
’’නුඹ ආරණ්‍යයෙහි තනිව, වෙනෙහි දමන ලද දර කෑල්ලක් මෙන් වෙසෙහිය. ස්වර්‍ගයට යන්නහු පතන්නාවූ නිරිසතුන්මෙන් එසේවූ යුෂ්මතුන්ද බොහෝ දෙනෙක් පතත්.
ඉක්බිති ඒ භික්‍ෂුතෙම ඒ දේවතාවා විසින් සංවේග කරන ලද්දේ සංවේගයට පැමිණියේය.