ඛුද්දකනිකායෙ
සුත්ත නිපාතය
3. මහා වර්ගය
12. ද්වයතානුපස්සනා සූත්‍රය
“මා විසින් මෙසේ අසන ලදී. එක් කාලයෙක්හි භාග්‍යවතුන් වහන්සේ මිගාරමාතා නම්වූ විශාඛාවන් විසින් කරවන ලද පූර්වාරාමයෙහි වාසය කරණසේක. ඒ කාලයෙහි භාග්‍යවතුන් වහන්සේ සඳ පිරුණු පසළොස්වක් පොහෝ දිනයෙහි රාත්‍රියෙහි භික්ෂු සංඝයා විසින් පිරිවරණ ලද්දේ එලිමහනෙහි වැඩ සිටිසේක. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ තුෂ්ණිම්භූතව වැඩ සිටි භික්ෂු සංඝයා බලා වදාරා භික්ෂූන්ට ආමන්ත්‍රණය කළසේක.
“මහණෙනි, ආර්යවූ නික්මීම ඇතිකරන්නාවූ අර්හත්වයට පමුණුවන්නාවූ යම් ඒ කුශල ධර්ම කෙනෙක් ඇද්ද, මහණෙනි, ආර්යවූ නික්මීම ඇතිකරන්නාවූ අර්හත්වය දෙන්නාවූ ඒ කුශල ධර්මයන් ඇසීමෙන් කවර ප්‍රයෝජනද, මහණෙනි. මෙසේ විචාරන්නාහු ඇත්තාහ. තොප විසින් ඔවුන්ට කොටස් දෙකකින් යුත් කරුණු දැන ගැනීමටයයි, මෙසේ කිවයුත්තාහ. කවර දෙවිධියක්යයි කියන්නහුද? මේ දුකය මේ දුක ඉපදීමට හේතුවය යන මේ එක් අනුපස්සනාවකි. (සිහිකොට බැලීමකි) මේ දුක් නිරුද්ධවන තැනය. මේ දුක් නිරුද්ධ කිරීමට යන ප්‍රතිපදාවය. මේ දෙවෙනි අනුපස්සනාය (ii) මහණෙනි, මෙසේ මනාකොට අප්‍රමාදව කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව නිවන වෙත යැවූ සිත් ඇති මහණහට මෙලොවම රහත්බව හෝ ඉපදීම ඇති කල්හි අනාගාමි බව යන ප්‍රයොජන දෙක අතුරෙන් එක්තරා ප්‍රයොජනයක් කැමති විය යුත්තාහ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළ සේක. සුගතයන් වහන්සේ මෙය වදාරා නැවතද ශාස්තෲන් වහන්සේ මෙසේ වදාළ සේක.
“යම් කෙනෙක් දුක නොදනිද්ද නැවත දුක හටගැනීමද නොදනිද්ද, යම් තැනෙක්හි සර්වප්‍රකාරයෙන් දුක ඉතිරිනොවී සංසිදේද, එයද දුක් සංසිඳීමට යන මාර්ගයද නොදනිද්ද,
“අර්හත් පළ සමාධියෙන් හීනවූ නැවත අර්හත් ඵල ප්‍රඥාවෙන්ද හීනවූ ඔව්හු සංසාර දුක කෙළවර කිරීමට අභව්‍ය ඔව්හු ඒකාන්තයෙන් උත්පත්ති මරණ දෙකට පැමිණියාහුය.
“යම් කෙනෙක් ඒකාන්තයෙන් දුක දනිද්ද, නැවත දුක ඉපදීමට හෙතුව දනිත්ද, යම් තැනෙක්හි දුක ඉතිරි නොකොට සිදේද, දුක් සන්සිඳුවීමට යන ඒ මාර්ගය දනිත්ද,
(i) “අර්හත් ඵල සමාධියෙන් යුත් අර්හත්ඵල ප්‍රඥාවෙන් යුත් ඔව්හු සංසාර දුක කෙළවර කිරීමට සුදුසුය. (ii) ඔව්හු උත්පත්තිය ජරා දෙකට නොපැමිණෙත්.
“මහණෙනි, ඉදින් අනික් ක්‍රමයකින් මනාකොට ධර්ම දෙකක් නුවණැසින් දැනීම් ඇත්තාහු දැයි විචාරන්නාහු වන්නාහ. ඇත්තාහයි කිව යුත්තාහ. කෙසේ වන්නේද යම්කිසි දුකක් රැස්කරයිද සියල්ල අකුසල් හෙතුකොටගෙන යයි මේ එක් අනුපස්සනාවකි. කෙලෙසුන්ගේම ඉතුරු නොකොට වෙන්වීමෙන් නිරුද්ධ කිරීමෙන් දුකක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනාය (මෙහි මේ සූත්‍රයේ 2 (ii) ඡෙදය යොදා යෙදිය යුතුයි.)
ලොකයෙහි යම්කිසි නොයෙක් රූපයෝ වෙත්ද ඒ නිසා ඇතිවන අකුසල් නිසා දුක් රැස් වෙත්. යමෙක් නොදැන පවු කරයිද, බාලතෙමේ නැවත නැවත දුකට පැමිණේ. සසර දුක හටගැනීමට හෙතුව උපධි (කෙලෙස්) යයි දැන දන්නා තැනැත්තේ එහෙයින් පව් නොකරන්නේය.
“මහණෙනි, අනික් ක්‍රමයකින් මනාකොට දෙකක් අනුව බලන්නේ ඇද්දැයි අසන්නාහු වන්නාහ. ඇතැයි කිව යුත්තාහ. කෙසේ වන්නේද? යම්කිසි දුකක් රැස් කරයිද, සියල්ල අවිද්‍යා හෙතුකොටයයි මෙය එක් බැලීමකි. අවිද්‍යාව ඉතිරි නොකොට නැතිකිරීමෙන් දුක් රැස්වීමක් නැතැයි යන මෙය දෙවෙනි බැලීමය. (මෙහි මේ සූත්‍රයේ 2 (ii) ඡෙදය යෙදිය යුතුයි.)
“යම් කෙනෙක් ස්කන්ධයන්ගේ ඉපදීමවූ ජාතියටද බිඳීමවූ මරණයටද ස්කන්ධ පිළිවෙළවූ සංසාරයටද, යම්කිසි කෙනෙක් යත්ද මේ මනුෂ්‍යාත්මභාවයටද අනික් කොටසකටද යාම අවිද්‍යාවෙන්මය.
“යමකින් මේ සත්වයා බොහෝ කලක් ඇවිද්දවන ලද්දේද මේ අවිද්‍යාව වනාහි මහා මොහයකි. යම් සත්වකෙනෙක් විද්‍යාවට ඇතුළුවූවාහුද නැවත උත්පත්තියකට නොපැමිණෙත්.
(මෙහි 6 (ii) සූත්‍රයේ ඡෙදය යෙදිය යුතුයි.) “යම්කිසි දුකක් රැස්කෙරේද, සියල්ල සංස්කාර ප්‍රත්‍යයෙන් යයි යන මෙය එක් අනුපස්සනාවකි. සංස්කාර නැතිවීමෙන් දුක් පහළවීමක් නැත්තේය යන මෙය දෙවෙනි අනුපස්සනාය. (මෙහි මේ සූත්‍රයේ 2 (ii) ඡෙදය යෙදිය යුතුයි.)
“සංස්කාර ප්‍රත්‍යයෙන් දුකයයි යන මේ දොෂය සියලු සංස්කාර සන්සිඳීමෙන් කාම සංඥාදිය මාර්ගයෙන් වැලැක්වීමෙන් මෙය තත්වූ පරිද්දෙන් දැන මෙසේ දුක් ක්ෂය වීමවේ.
“වෙදදත් පණ්ඩිතයෝ මනාකොට දැකීමෙන් මනාකොට දැන තුන්බිමට අයත් සසර මැඩපවත්වා නැවත භවයකට නොපැමිණේ (මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යෙදිය යුතුයි.)
“කෙසේ වන්නේද යම්කිසි දුකක් රැස්කෙරේද සියල්ල විඤ්ඤාණය හෙතුකොටගෙනයයි. මේ එක් අනුපස්සනාවකි. විඤ්ඤාණයාගේම ඉතිරි නොකොට දුරුකිරීමෙන් දුක් පැමිණීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනාවයි. (මේ මෙහි සූත්‍රයේ 2 (ii) ඡෙදය යෙදිය යුතුයි.)
“යම්කිසි දුකක් රැස්කෙරේද සියල්ල විඤ්ඤාණ හෙතුවෙන්ය. විඤ්ඤාණය නිරුද්ධවීමෙන් දුක් රැස්වීමක් නැත්තේය.
“විඤ්ඤාණ හෙතුවෙන් දුක් ඇතිවෙයි යන මේ දොෂය දැක මහණ තෙම විඤ්ඤාණය නැතිකිරීමෙන් තෘෂ්ණා නැතිව පිරිනිවියේය.
(මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යොදාගත යුතුයි.) “කෙසේවන්නේද? යම්කිසි දුකක් රැස්කෙරේද සියල්ල ස්පර්ශ හෙතුවෙන්යයි මේ එක් අනුපස්සනාවකි. ස්පර්ශයාගේම ඉතිරි නොකොට වෙන්වීමෙන් නිරුද්ධවීමෙන් දුක් පහළවීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනාවයි. (මෙහි මේ සූත්‍රයේ 2
(ii) ඡෙදය යෙදිය යුතුයි.)
“ස්පර්ශයට වසඟවූ තෘෂ්ණාව අනුව හැසිරෙන අයහපත් මාර්ගයට පිළිපන් ඔවුන්ට කෙළෙසුන් නැතිකිරීම දුරවේ.
“යම්කිසි කෙනෙක් ස්පර්ශය දැන කෙලෙස් සන්සිඳුවීමෙහි ඇලුනාවූ ඔව්හු ඒකාන්තයෙන් තෘෂ්ණා නැත්තේ පිරිනිවියේය.
(මෙහි මේ සූත්‍රයේ 5 (i) ඡෙදය යෙදිය යුතුයි.) “කෙසේ වන්නේද? යම්කිසි දුකක් රැස්කෙරේද සියල්ල වේදනා හෙතුකොට ගෙනය යනු එක් අනුපස්සනාවකි, වෙදනාවම ඉතිරි නොකොට දුරුකිරීමෙන් දුක් පහළවීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනාය. (මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යොදාගත යුතුයි.)
“තමා තුළද පිටතද සැපක් හෝ දුකක් හෝ උපෙක්ෂාවක් හෝ යම්කිසි වෙදනාවක් ඇද්ද.
“මෙසේ දුකයයි දැන නැසෙන පලුදුවන සුළු ධර්මයන් ස්පර්ශ කරමින් මෙසේ එහි පිරිසිදු මේ මහණතෙම වෙදනාවන් ක්ෂයවීමෙන් තෘෂ්ණා රහිතව පිරිනිවීයේය.
(මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යෙදිය යුතුයි) “කෙසේ වන්නේද යම්කිසි දුකක් රැස්කරයිද සියල්ල තෘෂ්ණා හෙතුවෙනි, යන මෙය එක් අනුපස්සනාවකි. තෘෂ්ණාවගේම
ඉතිරි නොකොට ක්ෂය වීමෙන් දුක් රැස්කිරීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනායි.
“තෘෂ්ණාව දෙවෙනි කොට ඇති පුරුෂතෙම බොහෝ කාලයක් සැරිසරන්නේ ආත්ම භවයෙන් අනික් ආත්ම භාවයකටද යන සංසාරය නොඉක්මවයි.
“දුකට හෙතුව තෘෂ්ණාවයයි මේ දොෂය දැක පහවූ තෘෂ්ණා ඇත්තේ තෘෂ්ණා වශයෙන් නොගන්නාවූ මහණ තෙම සිහි ඇතිව පිරිනිවෙන්නේය.
(මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යෙදිය යුතුයි.) “කෙසේ වන්නේද යම්කිසි දුකක් විඳීද සියල්ල දැඩිකොට ගැනීම හෙතුකොටගෙන යනු එක් අනුපස්සනාවකි. උපාදානයාගේ ඉතිරි නොකොට සන්සිඳුවීනේ දුක් රැස්වීමක් නැතැයි මේ දෙවෙනි අනුපස්සනායි. (මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යෙදිය යුතුයි.)
“උපාදාන හෙතුකොටගෙන භවයවේ. උපන්නේ දුකට පැමිණේ, උපන්නාට මරණය වේ. දුක පහළවීමට හේතුව මෙයයි.
“එහෙයින් පණ්ඩිතතෙම මනාකොට දැන උපාදාන ක්ෂය කිරීමෙන් උත්පත්තිය ක්ෂය කිරීම දැන උත්පත්තියකට නොඑයි.
(මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යොදාගත යුතුයි) කෙසේවන්නේද, යම් කිසි දුකක් රැස් කෙරේද, සියල්ල වීර්ය හෙතු කොට ගෙනය. මේ එක් අනුපස්සනාවකි. වීර්යය යන්ගේම ඉතිරි නොකොට සංසිඳුවීමෙන් දුක් රැස්වීමක් නැත්තේය යි. මෙය දෙවෙනි අනුපස්සනාය. (මෙහි මේ සූත්‍රයේ 2 (ii) ඡෙදය යොදා ගත යුතුයි.)
යම්කිසි දුකක් රැස් කෙරේද සියල්ල වීර්යය හෙතු කොටගෙන වීර්යය නිරුද්ධවීමෙන් දුක් රැස්වීමක් නැත.
“වීර්ය හෙතුවෙන් දුකයයි මේ දොෂය දැක වීර්යය නැති නිවනෙහි ඇලුනාවූ
“සිඳින ලද භව ආශා ඇති සන්සුන් සිත් ඇති ඒ මහණහට ඉපදීම නැමැති සසර තරණය ඇත්තේ නැවත ඉපදීමක් නැත.
(මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යොදා ගත යුතුයි.) “කෙසේ වන්නේද කිසි දුකක් රැස් කෙරේද, සියල්ල ආහරය හෙතු කොට ගෙනය යන මේ එක් අනුපස්සනාවකි. ආහාර අත්හැරීමෙන් දුක්රැස්වීමක් නැත්තේය. මේ දෙවෙනි අනුපස්සනාවය. (මෙහි මේ සූත්‍රයේ 2 (i) ඡෙදය යොදාගත යුතුයි)
“යම්කිසි දුකක් රැස් කෙරේද, සියල්ල ආහාරය හෙතු කොටගෙනය. ආහාරය නැතිවීමෙන් දුක් රැස්වීමක් නැත.
“ආහාරය හෙතුවෙන් දුකයයි මේ දොෂය දැක සියලු ආහාරයන් දැන සියලු ආහාර ඇසුරු නොකොට
“නිරොගිකම මනා කොට දැන ආශ්‍රවයන් ක්ෂය වීමෙන් සිහිකොට අනුභව කරණ ධර්මයෙහි පිහිටි, වෙද දත් තැනැත්තේ දෙවියාය, මනුෂ්‍යයායයි ගණනට නොවැටේ
(මෙහි මේ සූත්‍රයේ 6 (2) ඡෙදය යොදාගත යුතුයි.) “කෙසේ වන්නේද, යම් කිසි දුකක් රැස් කෙරේද, සියල්ල තෘෂ්ණාදී හැඟීම් අනුවයයි. මේ එක් අනුපස්සනාවකි. තෘෂ්ණාදී හැඟීම් නැතිවූ කල්හි දුක් රැස්වීමක් නැත.
“තෘෂ්ණාදී හැඟීම් අනුව දුක් ඇතිවේය යන මේ දොෂය දැන, එනිසා තෘෂ්ණාව අත්හැර සංස්කාරයන් නිරුද්ධ කොට තෘෂ්ණාව නැතිව දැඩිව නොගෙන මහණ තෙම සිහි ඇතිව පිරිනිවෙන්නේය.
(මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යෙදිය යුතුයි) කෙසේ වන්නේද, තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරු කළකල්හි බිය ඇති වේයයි යන එක් අනුපස්සනාවකි. තෘෂ්ණාව ඇසුරු කළේ බිය නොවෙයි යන මෙය දෙවන අනුපස්සනාවය. (මේ සූත්‍රයේ 2 (ii) ඡෙදය යොදා ගත යුතුයි.)
“තෘෂ්ණා දෘෂ්ටීන් ඇසුරු නොකළේ බිය නොවේ. ඇසුරු කළේ තදින් අල්වා ගන්නේ මේ ආත්ම බැවින් අනෙක් අත් බවකට යන්නේ සසර නො ඉක්මවයි.
“තෘෂ්ණාදීන් ඇසුරු කිරීමෙහි මේ ආදීනවය දැක මහණතෙම ඇසුරු නො කළේ නොගන්නේ සිහි ඇතිව කළුරිය කරන්නේය.
(මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යොදාගත යුතුයි.) කෙසේ වන්නේද? මහණෙනි රූපයට වඩා අරූපයේ ශාන්තය යන මේ එක් අනුපස්සනාවකි. අරූපයන්ට වඩා නිවන ශාන්තයයි මේ දෙවෙනි අනුපස්සනාය. (මේ සූත්‍රයේ 2 (ii) ඡෙදය යොදා ගත යුතුයි)
“රූපභවයට ගිය සත්වයෝ යම් කෙනෙක් වෙත්ද අරූපවාසීහු යම් පමණ වෙත්ද, නිවන නොදන්නාවූ ඔවුහු නැවත ඉපදීමට එන්නාහ.
“යම් කෙනෙක් රූපයන් විශිෂ්ට ඥානයෙන් දැන අරූපයෙහි සිටියාවූ යම් කෙනෙක් නිවනෙහි මිදුනාහුද ඒ ජනයෝ මාරයා අත් හැර යන්නේය. (මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යෙදිය යුතුයි.)
“කෙසේ වන්නේද? මහණෙනි, මාරයා සහිත බ්‍රහ්මයා සහිත ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙවි මිනිසුන් සහිත ප්‍රජාවෙහි දෙවියන් සහිත ලොකයෙහි මේ ඇත්ත යයි සිතන ලදද, ආර්යයන් විසින් එය බොරුවකැයි තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දක්නා ලදී. මෙය එක් අනුපස්සනාවකි. මහණෙනි, (මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යොදාගත යුතුයි.) ආර්යයන් විසින් තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දක්නා ලදී. මේ දෙවෙනි අනුපස්සනායි (මෙහි මේ සූත්‍රයේ 2 (ii) ඡෙදය යොදාගත යුතුයි.)
“ආත්ම නොවූවෙහි ආත්මය යන හැඟීම් ඇති දෙවියන් සහිත ලොකයා බලව. නාම රූප දෙකෙහි මෙයම ඇත්තයයි බැසගත්තේ තෘෂ්ණා දෘෂ්ටීන් හඟියි.
“යම් යම් විධියකින් හඟිත්ද, එය ඊට අන් පරිද්දෙකින් වේ. එය ඔහුගේ මුළාවකි. ස්වල්පවූ මුළා කරණ ධර්මයකි.
“නොනස්නා සුළු නිවන ආර්යයෝ ඇත්ත වශයෙන් දත යුත්තාහ. ඔව්හු ඒකාන්තයෙන් ඇත්ත අවබොධ වීමෙන් ආශා නැතිව පිරිනිවීයාහුය.
(මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යෙදිය යුතුයි. “මහණෙනි තවත් ක්‍රමයකින් මනාකොට ද්වයතානුපස්සී වේදැයි මෙසේ විචාරන්නෝ ඇත්තාහ. ඇත්තාහයි කිව යුතුය. කෙසේ වන්නේද, (මෙහි මේ සූත්‍රයේ 6 (i) යෙදිය යුතුයි.) ලොකයෙහි මෙය සැපයයි සිතයිද, එය ආර්යයන් විසින් මේ දුකයයි තත්වූ පරිද්දෙන් යහපත් ප්‍රඥාවෙන් දක්නාලදී. මේ එක් අනුපස්සනාවකි. (මෙහි මේ සූත්‍රයේ 6 (i) ඡෙදය යෙදිය යුතුයි.) මෙය දුකයයි සිතයිද, ආර්යයන් විසින් එය දුකයයි යහපත් ප්‍රඥාවෙන් දක්නා ලදී. මේ දෙවෙනි අනුපස්සනාවයි. මහණෙනි, මෙසේ මනාකොට දෙකක් බව සිහි කරණ අප්‍රමාදවූ කෙලෙස් තවන වීර්ය ඇති නින් වෙත යොමුකළ සිත් ඇතිව වාසය කරණ මහණහට ඵල දෙක අතුරින් එක් ඵලයක් කැමති විය යුතුය. මේ ආත්මයෙහි රහත් බව හෝ උත්පත්තිය ඉතිරිව ඇති කල්හි අනාගාමි බව හෝයි” බුදුරජාණන් වහන්සේ මෙය වදාරා මෙසේත් වදාළසේක.
“රූපය, ශබ්දය, රසය, ගන්ධය, ස්පර්ශය, ධර්මය යන මේ යහපත්, කාන්ත මන වඩන යම් මේ අරමුණු සයක් ඇත්තේද,
“දෙවියන් සහිත ලොකයා විසින් සැපයයි සම්මතය. යම් තැනෙක්හි මොව්හු නැතිවෙත්ද එය දුක්යයි සම්මතය.
“ශරීරයාගේ වැළැක්ම සැපයයි ආර්යයන් විසින් දක්නාලදී. සියලු ලෝකයෙහි නොදැක්ම ප්‍රතිගාමී දෙයකි.
“අන්‍යයෝ යමක් සැපයයි කීවාහුද, ආර්යයෝ එය දුක්යයි කීහු. අන්‍යයෝ යමක් දුක්යයි කීවාහුද, ආර්යයෝ එය සැපයයි කීවාහුය. දතනොහැකි ධර්මයන් බලව. බාලයෝ මෙහි මුළාවෙති.
“අවිද්‍යාවෙන් වැසුනාවූ නිවන නොදක්නාවුන්ට අන්ධබව කරණ අන්ධකාරයවේ.
සත්පුරුෂයන්ට ආලොකය පෙණෙන්නාක් මෙන් නිවණ විවෘතවේ. මාර්ග අමාර්ග දෙකේ දක්ෂයාට තමාගේ ශරීරයෙහිම ඇති නිවන නොදනිත්.
“භවාසාවෙන් පීඩිතවූ, භව නැමැති සැඩපාරට අනුව යන කාම රූප අරූප යන සසරට බට තැනැත්තන් විසින් මේ ධර්මය සුවසේ අවබොධ නොකටහැකිය.
“යම් නිර්වාණ පදයක් මනාකොට දැන ආශ්‍රව රහිතව පිරිනිවෙයිද, බුදුරජාණන් වහන්සේ හෝ ආර්යයන් හැර නිවන අවබෝධ කරන්නට අන්කවරෙක් සමර්ථද, අසමර්ථමය.”
ද්වයතානුපස්සනාසුත්තං ද්වාදසමං නිට්ඨිතං.
තුන්වෙනි මහාවර්ගය නිමි.