ඛුද්දකනිකායෙ
සුත්ත නිපාතය
5. පාරායණ වර්ගය
පාරායනානුගීතිගාථා
“නිර්මලවූ උතුම් ප්‍රඥා ඇති ආශා රහිත කෙළෙස් වනයන් නැති ශ්‍රෙෂ්ඨයන් වහන්සේ යම්සේ දැක්කේද, එසේ දෙශනාකළසේක. පාරායන ධර්මය අනුව ගියෙමි. කවර කරුණක් නිසා බොරු කියම්දැයි පිංගියතෙම” කීයේය.
“මානය හා ගුණමකුකම දුරුකළ ගෙවා දැමූ කෙලෙස් මල හා මොහය ඇති බුදුරදුන්ගේ ගුණ වර්ණනාවෙන් යුක්ත වචනය” දැන් මම කියන්නෙමි.
“පසැස් ඇති මෝහ අඳුර නසන චතුරාර්ය සත්‍යය අවබොධකළ ලෝකයාගේ කෙළවරට ගිය, සියලු භවයන් ඉක්මවූ කෙළෙස් නැති සියලු දුක් දුරුකළ සත්‍යවූ ‘බුද්ධ’ යන නම් ඇති උන්වහන්සේ බ්‍රාහ්මණවූ මා විසින් ආශ්‍රය කරණ ලද්දේ වෙමි.
“යම්සේ පක්ෂිතෙම කුඩා වනය හැර බොහෝ ගෙඩි වර්ග ඇති මහවනයට යේද මෙසේම මමද ස්වල්ප නුවණ ඇතියන් අත්හැර බොහෝ දිය ඇති විලට යන හංසයාමෙන් මෙහි පැමිණියෙමි.
“මත්තෙහි ගෞතම ශාසනය වන්නේයයි යමෙක් මට ප්‍රකාශ කළෝද සිතීම් ඇතිකරවමින් ඒ සියල්ල එසේම විය.
“අවිද්‍යාන්ධකාරය දුරුකරන්නාවූ අසහායවූ සූර්යයාවූ උන්වහන්සේ ශ්‍රෙෂ්ඨ ඉපදීම ඇතිසේක. ඥාණධජවූ ගෞතම සේක. බොහෝ ප්‍රඥා ඇති ගෞතමසේක.
“යම් බුදුකෙනෙක් මෙලොව පලදෙන කල්නොයවා විපාක දෙන ධර්මය දෙශනා කළසේක්ද කෙලෙස් උවදුරු නැති තෘෂ්ණාව දුරුකළ උන්වහන්සේට සමාන කළ යුත්තක් නැත.
“පිංගිය, ඥානධජවූ මහා ප්‍රඥා ඇති ඒ බුදුරදුන් කෙරෙන් කිමෙක්ද මොහොතක්වත් වෙන්ව වසන්නෙහිද?
“(මෙහි 19 ඡෙදය යොදා ගත යුතුයි.)
“බමුණ, ඥානද්වජවූ බොහෝ ප්‍රඥාඇති ඒ බුදුරදුන් කෙරෙන් මොහොතක්වත් වෙන්ව නොවසමි.
“රෑ දාවල් දෙක්හි අප්‍රමාද වූයේ ඒ බුදුන් වහන්සේ ඇසින් මෙන් සිතින්ද දකිමි. රාත්‍රියෙහි නමස්කාර කරමින් සිටිමි එයින්ම වෙන් නොවූ බව දනිමි.
“මාගේ ශ්‍රද්ධාවද ප්‍රීතියද යහපත් සිතද සිහි ඇති බවද ගෞතම ශාසනයෙන් ඉවත් නොවෙත් මහාප්‍රඥා ඇති බුදුරජ තෙම යම් යම් දිශාවක ගමන් කෙරේද, ඒ ඒ දිශාවට නැමුනේ වෙමි.
“දුර්වල ශරීර ඇති වයස්ගතවූ මාගේ ශරීරය ඒ නිසාම ඒ බුදුන් වෙත නොයයි, සිහි ඇති ස්වල්ප ගමනින් නිතර යමි. බ්‍රාහ්මණය, යම්තැනක බුදුරදුන්වේද මාගේ සිත එහිමය.
“කාම මඩෙහි නිදන්නේ සැලෙන්නේ, ශාස්තෘවරයෙකුගෙන් ශාස්තෘවරයෙකු වෙත ගියෙමි. ඉක්බිති කාමාදී සැඩවතුරු තරණය කළ කෙලෙස් නැති බුදුන්වහන්සේ දිටිමි.
“යම්සේ වක්කලිතෙම ශ්‍රද්ධාව මුදා රහත්වූයේද භද්‍රාවුධ යම්සේද, ආලවී ගෞතමතෙම යම්සේද, එමෙන්ම ඔබද ශ්‍රද්ධාව මුදව, පිංගිය, ඔබ නිර්වාණයට යන්නෙහිය.
“මුනීන්ද්‍රයන් වහන්සේගේ මේ වචනය අසා බොහෝ සෙයින් පැහැදුනෙමි. දුරුකළ මෝහාදිය ඇති සම්‍යක් සම්බුද්ධ තෙම කෙලෙස් හුල් නැති ඉක්මන් වැටහීමක් ඇති කෙනෙකි.
“ඉතා උසස් ධර්මය දැන හීන ප්‍රණීත සියල්ල දත්සේක ශාස්තෘතෙම ප්‍රශ්නයක් කෙළවර කළසේක. සැක නැතැයි දන්වනසේක.
“රාගාදියෙන් නොසෙලවෙන වෙනස් නොවෙන යම් ඒ බුදුන් වහන්සේට සමාන කළ යුත්තක් නැත, ඒකාන්තයෙන් නිර්වාණ ධාතුවට යන්නෙමි. මෙහි සැකයක් නැත. මිදුනු සිත් ඇත්තේයයි මෙසේ මා දරව.”
පාරායණ වර්ගය නිමි.
සූත්‍රනිපාතය නිමි.