ඛුද්දකනිකායෙ

සුත්ත නිපාතය

5. පාරායණ වර්ගය

පාරායනත්ථුතිගාථා

“භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාරා මගධ රට වැඩ වාසය කරණසේක් පාෂාණක චෛත්‍යයෙහි සිටි බ්‍රාහ්මණයන් දහසය දෙනෙකුන් විසින් ආරාධනා කරණ ලද්දේ ඇසූ ප්‍රශ්න විසඳූසේක. එක් ප්‍රශ්නයකගේ අර්ථය දැන, ධර්මය දැන ධර්මානුධර්මයෙහි පිළිපදනේ නම් ජාති, ජරා, මරණයාගේ කෙළවරට යන්නේය. මේ ධර්මයෝ (පුද්ගලයා) එතරට යවන බැවින් මේ ධර්ම ක්‍රමයට “පාරායන” යයි තවත් නමෙකි.

අජිතය, තිස්ස මෙත්තෙය්‍යය, පුණ්ණකය එසේම මෙත්තගුය, ධොතකය, උපසීවය, නන්දය, එසේම හේමකය,

තොදය්‍යය කප්ප යන දෙදෙනාය නුවණැති ජතුකණ්ණිය, භද්‍රාවුධය, උදයය, පොසාල බ්‍රාහ්මණය, ප්‍රඥාවත් මොඝරාජය, පිංගිය මහාඍෂිවරයාය

යන මොවුහු මහර්ෂීවූ චරණ ධර්මයන්ගෙන් යුක්තවූ බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේ වෙත නිපුණවූ ප්‍රශ්නයන් විචාරනු පිණිස පැමිණියාහ.

යම්බඳුවූ ඒ ප්‍රශ්නයන් විචාරණලද ඔවුන්ට බුදුරජ තෙම විසඳා වදාළසේක. මුනිතෙම ප්‍රශ්න විසඳීමේදී බ්‍රාහ්මණයන් සන්තොෂ කළසේක.

සතුටුවූ ඔවුහු පසැස් ඇති සූර්යබන්ධුවූ උතුම් නුවණැති බුදුරදුන් වෙත බඹසර හැසුරුණාහ.

යම්සේ බුදුරදුන් විසින් දෙශනාකරණලද එක එකම ප්‍රශ්නයක පවා යමෙක් පිළිපදනේද, ඔහු මෙතරින් එතරට යන්නේය.

“උතුම් මාර්ගය වඩන්නේ මෙතරින් එතරට යන්නේය ඒ මාර්ගය පරතෙර ගමනට ප්‍රයෝජන බැවින් පාරායනයයි කියයි.