අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

1. පඨම පණ්ණාසකය

2. නාථ වර්‍ගය

9. සංඛිත්ත අරියවාස සූත්‍රය

’’මහණෙනි, යමක ආර්‍ය්‍යයෝ විසුවාහුද, වෙසෙත්ද, වසන්නාහුද, මේ ආර්‍ය්‍යවාස දසයක් වේ.

’’කවර දසයක් වෙත්ද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම කරුණු පසකින් දුරුවූයේ වේද, අඞ්ග සයකින් යුක්තවූයේ වේද, එක් ආරක්‍ෂාවක් ඇත්තේද, විමසීම් සතරක් ඇත්තේද, වෙන වෙන ඇත්තයයි කියාගත් දේ විශෙෂයෙන් ප්‍රහීන කළේද නැත්තේද, බැහැර කරණ ලද සියලු සෙවීම් ඇත්තේද, අවුල් නොවූ කල්පනා ඇත්තේ වේද, සංසිදුණු කාය සංස්කාර ඇත්තේ වේද, කෙලෙසුන්ගෙන් මිදුණු සිත් ඇත්තේද, කෙලෙසුන්ගෙන් මිදුණු ප්‍රඥා ඇත්තේ වේද, මහණෙනි, යමක ආර්‍ය්‍යයෝ විසුවාහුද, වෙසෙත්ද, වසන්නාහුද, මේ ආර්‍ය්‍යවාස දසයක් වේ.