අඞ්ගුත්තරනිකායො
දසම නිපාතය
2. දුතිය පණ්ණාසකය
(7) 2. යමක වර්‍ගය
10. පාසංසඨාන සූත්‍රය
’’මහණෙනි, ප්‍රශංසා කටයුතු මේ ස්ථාන දශයක් වෙති. කවර දශයක්ද යත්? මහණෙනි, මේ ශාසනයෙහි මහණතෙම තමාද අල්පෙච්ඡ වෙයි. භික්‍ෂූන්ටද අල්පෙච්ඡ කථාව කරන්නේ වෙයි. අල්පෙච්ඡ භික්‍ෂුව භික්‍ෂූන්ට අල්පෙච්ඡ කථාවද කරන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
’’තමාද ලද දෙයින් සතුටු වේ. භික්‍ෂූන්ට සතුට පිළිබඳ කථා කරන්නේ වේ. සතුටු භික්‍ෂුව සතුට පිළිබඳ කථා කරන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
’’තමාද විවේකයට ගියේ වේ. භික්‍ෂූන්ට විවේක කථාව කියයි. විවේකයට ගිය මහණතෙම භික්‍ෂූන්ට විවේක කථාව කරන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
’’තමා නොගැටුනේ වේ. භික්‍ෂූන්ට නොගැටීමේ කථා කියන්නේ වේ. නොගැටුණු මහණ භික්‍ෂූන්ට නොගැටීමේ කථාව කියයිද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
’’තෙමේ පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇත්තේ වේ. භික්‍ෂූන්ට වීර්‍ය්‍යකිරීම පිළිබඳ කථාව කියන්නේ වේ. පටන්ගන්නාලද වීර්‍ය්‍ය ඇති මහණ තෙම භික්‍ෂූන්ට වීර්‍ය්‍යය පිළිබඳ කථා කියන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
’’තමාද ශීලයෙන් යුක්ත වේ. භික්‍ෂූන්ට සීල සම්පත්ති කථාව කියන්නේ වේ. ශීලයෙන් යුත් මහණතෙම භික්‍ෂූන්ට ශීල සම්පත්ති කථාව කියයිද මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
’’තමාද සිත එකඟ කිරීමෙන් යුක්තවූයේ වේ. භික්‍ෂූන්ට සිත එකඟකිරීමේ කථා කියන්නේ වේ. සිත එකඟ කිරීමෙන් යුක්ත මහණතෙම භික්‍ෂූන්ට සිත එකඟ කිරීමෙහි කථා කරන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
’’තමාද ප්‍රඥාවත් වේ. භික්‍ෂූන්ට ප්‍රඥා සම්පත්තියෙහි කථා කියන්නේ වේ. ප්‍රඥාවත් මහණතෙම භික්‍ෂූන්ට ප්‍රඥා සම්පත්තියෙහි කථා කියන්නේ වේද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
’’තමාද කෙළෙසුන් මිදීමෙන් යුක්තවූයේවේ. භික්‍ෂූන්ට කෙළෙසුන්ගෙන් මිදීමෙහි කථා කියන්නේ වේ. මිදීමෙන් යුත් මහණතෙම භික්‍ෂූන්ට මිදීමෙහි කථා කියයිද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය.
’’තමාද ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණයෙන් යුක්තවූයේ වේ. භික්‍ෂූන්ට ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ පිළිබඳ කථා කරන්නේ වේ. ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණයෙන් යුත් මහණ තෙම ප්‍රත්‍යවෙක්‍ෂා ඤාණ පිළිබඳ කථා කියයිද, මේ කාරණය ප්‍රශංසාවට සුදුසුය. මහණෙනි, මේ දශය ප්‍රශංසා කටයුතු කාරණයෝය.’’
යමක වර්‍ගය නිමි.