අඞ්ගුත්තරනිකායො

දසම නිපාතය

2. දුතිය පණ්ණාසකය

(8) 3. ආකඞ්ඛ වර්‍ගය

2. සද්ද කණ්ටක සූත්‍රය

’’එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර මහ වනයෙහි කූටාගාර ශාලාවෙහි ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ ස්ථවිර ශ්‍රාවකයන්වූ, ආයුෂමත් චාල, උපචාල, කක්කට, කවිම්භ, කට, කටිස්සඞ්ග යන තෙරුන් හා අන්‍යවූත් ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ ස්ථවිර ශ්‍රාවකයන් සමග වාසය කරණ සේක. ඒ කාලයෙහි වනාහි බොහෝ ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ ලිච්ඡවීහුද, තරුණයන් පිරවූ යහපත් යානාවන්ගෙන්, උස් හද්‍ධ ඇත්තාහු, මහත් හඬ ඇත්තාහු, භාග්‍යවතුන් වහන්සේ දක්නට මහා වනයට වදිත්. ඉක්බිති ඒ ආයුෂ්මත්වරුන්ට මේ බොහෝ ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ ලිච්ඡවීහුද, චර තරුණයන් පිරවූ යහපත් යානාවන්ගෙන්, උස් හඬින්, මහා හඬින්, භාග්‍යවතුන් වහන්සේ දක්නට මහා වනයට වදිත්.

’’ භාග්‍යවතුන් වහන්සේ විසින්, ’ධ්‍යානයන්ට ශබ්දය කටුවකැ’ යි වදාරණ ලදී. ’අපි ගොසිඞ්ග ශාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි පැමිණමු නම් යෙහෙක. එහි අපි ශබ්ද ඇත්තාහු, ගැවසීම් ඇත්තාහු, සුවසේ වසමෝ නම් යෙහෙකැ’ යි කියායි.

’’ඉක්බිති ඒ ආයුෂමත්වරු ගොසිඞ්ග ශාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. එහි සිටි ඒ ආයුෂ්මත්වරු ශබ්ද නැත්තාහු, ගැවසීම් නැත්තාහු, සුවසේ වසත්.

’’ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ, ’’මහණෙනි, චාල කොහිද, උපචාල කොහිද, කක්කට කොහිද, කවිම්භ කොහිද, කට කොහිද, කටිස්සඞ්ග කොහිද, මහණෙනි, ඒ ස්ථවිරවූ ශ්‍රාවකයෝ කොහි ගියාහුදැ’’ යි භික්‍ෂූන් ඇමතූ සේක. ’’ස්වාමීනි, මෙහි ඒ ආයුෂමතුන්ට මේ බොහෝ ප්‍රසිද්‍ධ ප්‍රසිද්‍ධ ලිච්ඡවීහුද, චර තරුණයන් පිරවූ යහපත් යානාවන්ගෙන්, උස් හඬින්, මහා හඬින්, භාග්‍යවතුන් වහන්සේ දක්නට මහා වනයට වදිත්.

’’ භාග්‍යවතුන් වහන්සේ විසින්, ’ධ්‍යානයන්ට ශබ්දය කටුවකැ’ යි වදාරණ ලදී. ’අපි ගොසිඞ්ග ශාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි පැමිණමු නම් යෙහෙක. එහි අපි ශබ්ද ඇත්තාහු, ගැවසීම් ඇත්තාහු, සුවසේ වසමෝ නම් යෙහෙකැ’ යි කියායි.

’’ස්වාමීනි, ඉක්බිති ඒ ආයුෂමත්වරු ගොසිඞ්ග ශාල වන ලැහැබ යම් තැනෙක්හිද, එහි පැමිණියාහුය. එහි සිටි ඒ ආයුෂ්මත්වරු ශබ්ද නැත්තාහු, ගැවසීම් නැත්තාහු, සුවසේ වසත්.

’’මහණෙනි, යහපත, යහපත, මනාව ප්‍රකාශ කරණ සේ මහා ශ්‍රාවකයෝ මනාව ප්‍රකාශ කරන්නාහුය. මහණෙනි, මා විසින් ධ්‍යානයෝ ශබ්ද නමැති කටු ඇත්තාහයි කියන ලදී. මහණෙනි, කටු දහයක් වෙත්. කවර දසයක්ද යත්,

’’උසස් විවේකයෙහි ඇලුනහුට සමූහය මැද ඇලෙන බව කටුවකි. අශුභ නිමිති භාවනාවේ යෙදුනහුට ශුභ නිමිත්තෙහි යෙදීම කටුවකි. ඉන්‍ද්‍රයයන්හි වසන ලද දොර ඇත්තහුට විසුළු දැකීම කටුවකි. බ්‍රහ්මචාරී පුද්ගලයාට ස්ත්‍රීන් පිරිවැරීම කටුවකි. ප්‍රථම ධ්‍යානයට ශබ්දය කටුවකි. දෙවෙනි ධ්‍යානයට විතර්‍කය හා විචාරය (සිත යෙදීම, හැසිරවීම) කටුවකි. තුන්වෙනි ධ්‍යානයට ප්‍රීතිය කටුවකි. සතරවෙනි ධ්‍යානයට ආශ්වාශ ප්‍රශ්වාශයෝ කටුය. හැඟීම් හා විඳීම් නැතිකිරීමේ සමවතට සංඥාවද, වේදනාවද කටු මෙනි. රාගය කටුවකි. මොහය කටුවකි.

’’මහණෙනි, කටු නැත්තෝව වාසය කරව්. මහණෙනි, නොකටුව වාසය කරව්. කටු නැත්තෝවද, නොකටුවද වාසය කරව්. මහණෙනි, රහත්හු කටු නැත්තෝය. මහණෙනි, රහත්හු නොකටු වූවෝය. මහණෙනි, රහත්හු කටු නැති නොකටු වූවෝය.’’