අඞ්ගුත්තරනිකායො

එකාදසක නිපාතය

2. අනුස්සති වර්‍ගය

6. අඨකනාගර සූත්‍රය

එක් කාලෙක්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම විසාලා මහනුවර, බේලුව නම් ගමෙහි වාසය කරයි. එකල්හි වනාහි අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, කිසියම් කටයුත්තක් සඳහා පැළලුප් නුවර පැමිණියේ වෙයි. ඉක්බිති අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, කුක්කුටාරාමය යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ඒ භික්‍ෂුහට මෙය කීයේය. ’’ස්වාමිනි, කොහි වනාහි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙම මෙකල්හි වාසය කෙරේද? ස්වාමිනි, අපි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ දකිනු කැමැත්තෙම්හ’’ යි ’’ගෘහපතිය, මේ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර තෙමේ විසල් නුවර බේලුව නම් ගමෙහි වාසය කේෙය’’ යි කීයේය.

ඉක්බිති අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, පැළලුප් නුවර ඒ කටයුත්ත නිමවා විසල් පුර බේලුව නම් ගම යම් තැනෙක්හිද, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිර යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට වැඳ, එකත්පස්ව හුන්නේය. එකත්පස්ව හුන්නාවූම අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම, ආයුෂ්මත් අනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍යයෙන් යුක්තව හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නාවූ භික්‍ෂුහුගේ නොමිදුනාවූ හෝ සිත කෙලෙසුන් කෙරෙන් මිදේද? ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය වීමට යෙද්ද? නොපැමිණියාවූ හෝ උතුම්වූ නිවණට අනුව පැමිණේද? එබඳුවූ, සියල්ල දන්නාවූ, සියලු ධර්‍මයන් දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට ප්‍රකාශ කරණ ලද්දාවූ එක් ධර්මයක් ඇත්තේදැ’’ යි ඇසීය.

’’ගෘහ පතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, වාසය කරන්නාවූ භික්‍ෂුහුගේ නොමිදුණාවූ සිත හෝ කෙළෙසුන් කෙරෙන් මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය වීමට යෙද්ද, නොපැමිණියාවූ උතුම් නිවණට හෝ අනුව පැමිණේද, එබඳුවූ සියල්ල දන්නාවූ, සියලු ධර්මයන් දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට වදාරණ ලද්දාවූ, එක් ධර්මයෙක් ඇතැ’’ යි කීයේය.

’’ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙළෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නාවූ භික්‍ෂුහුගේ නොමිදුනාවූ සිත හෝ කෙළෙසුන්ගෙන් මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂයවීමට යෙද්ද, නොපැමිණියාවූ උතුම් නිවණට හෝ අනුව පැමිණේද, එබඳුවූ සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරණ ලද්දාවූ, එක් ධර්මය තෙම කවරේදැ’’ යි ඇසිය.

’’ගෘහපතිය, මේ ශාසනයෙහි භික්‍ෂුතෙම කාමයන්ගෙන් වෙන්වම, අකුශල ධර්මයන්ගෙන් වෙන්ව, විතර්‍ක සහිතවූ, විචාර සහිතවූ, විවේකයෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, පළමුවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ කල්පනා කරයි. මේ ප්‍රථම ධ්‍යානයද වනාහි අභිසංස්කරණය කරණ ලද්දක්ය. සිතින් නිපදවන ලද්දක්ය. යම් කිසිවක් වනාහි රැස්කරණ ලදද, සිතින් නිපදවන ලදද, එය අනිත්‍යය නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේයයි දැන ගණියි. හෙතෙම එහි පිහිටියේ, ආශ්‍රවයන් නැසීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් නැසිමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහිවූ රාගයෙන්ම, ඒ ධර්මයෙහි වු සතුටෙන්ම, ඔරම්භාගීය සංයෝජන පස නැසීමෙන් ඕපපාතිකවූයේ, එහි පිරිණිවෙන සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරළ නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන්නාවූ භික්‍ෂුහුගේ නොමිදුනාවූ සිත හෝ කෙලෙසුන්ගෙන් මිදේද? ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය වීමට යෙද්ද? නොපැමිණියාවූ උතුම් නිවණට හෝ අනුව පැමිණේද? එබඳුවූ, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට ප්‍රකාශ කරණ ලද්දාවූ මේ ධර්මය තෙමේද එක් ධර්මයක් වේය’’ යි කීයේය.

’’නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, භික්‍ෂු තෙම විතර්‍ක විචාරයන් සන්සිඳීමෙන් තමා තමා කෙරෙහි පැහැදිම ඇත්තාවූ, සිත පිළිබඳ එකඟ බව ඇති, විතර්‍ක රහිතවූ, විචාර රහිතව, සමාධියෙන් හටගත් ප්‍රීතිය හා සැපය ඇති, දෙවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. ප්‍රීතියේ නොඇලීමෙන් තුන්වෙනි ධ්‍යානයට පැමිණ වාසය කරයි. සැප දුක් දෙක නැතිකිරීමෙන් පළමුවම සොම්නස් දොම්නස් දෙදෙනාගේ අභාවයෙන් දුක් සැප නොවූ (මධ්‍යස්ථවූ) උපෙක්‍ෂාස්මෘති පාරිශුද්‍ධියවූ, චතුත්‍ර්‍ථ ධ්‍යානයට පැමිණ වෙසේද,

’’සතරවන ධ්‍යානයට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සළකයි. මේ සතරවන ධ්‍යානයද වනාහි රැස්කරණ ලද්දක. සිතින් නිපදවන ලද්දක. යම් කිසිවක් වනාහි රැස්කරණ ලදද, සිතින් නිපදවන ලදද, එය අනිත්‍යය, නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේයයි දැන ගණියි. හෙතෙම එහි පිහිටියේ, ආශ්‍රවයන් නැසීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් නැසිමට නොපැමිණේ නම්, ඒ ධර්මයෙහිවූ ඇල්මෙන්ම, ඒ ධර්මයෙහි සතුටින්ම, ඔරම්භාගීයවූ සංයෝජන පස නැසීමෙන් ඕපපාතිකවූයේ, එහි පිරිණිවෙන සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරළා නොඑන ස්වභාවය ඇත්තේ වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරන භික්‍ෂුහුගේ නොමිදුනාවූ සිත හෝ කෙලෙසුන්ගෙන් මිදේද? ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය වීමට යෙද්ද? නොපැමිණියාවූ උතුම්වූ නිවණට හෝ අනුව පැමිණේද? එබඳුවූ, සියල්ල දන්නාවූ, සියල්ල දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරණ ලද්දාවූ මේ ධර්මයද වනාහි එක් ධර්මයක් වේය’’ යි කීයේය.

’’නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, භික්‍ෂුතෙම මෛත්‍රිය සමග ගියාවූ සිතින් එක් දිසාවක් පැතිර වාසය කරයි. එසේ දෙවන දිසාවද, එසේ තුන්වන දිසාවද, එසේ සතරවන දිසාවද පැතිර වාසය කරයි. මෙසේ උඩ, යට, සරස සියලු තන්හි සියල්ලන් කෙරෙහි සමව පැවති, සියල්ලන් ඇති ලෝකය පැතිරීමෙන් මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, නිදුක්වූ, මෛත්‍රී සහගත සිතින් පැතිර වාසය කරයි. හෙතෙම මෙසේ සළකයි. මේ මෛත්‍රී චිත්ත විමුක්තියද වනාහි රැස් කරණ ලද්දීය. සිතින් නිපදවන ලද්දීය. යම් කිසිවෙක් වනාහි රැස් කරණ ලදද, සිතින් නිපදවන ලදද, එය අනිත්‍යය. නිරෝධය ස්වභාවකොට ඇත්තේයයි දැනගනියි. හෙතෙම එහි පිහිටියේ ආශ්‍රවයන්ගේ නැසීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන්ගේ නැසිමට නොපැමිණේනම් ඒ ධර්මයෙහි ඇල්මෙන්ම, ඒ ධර්මයෙහි සතුටෙන්ම, ඕරම්භාගීය සංයෝජන පස නැසීමෙන් ඕපපාතිකවූයේ, එහි පිරිණිවෙන සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ගෘහපතිය, යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන විර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, වාසයකරණ භික්‍ෂුහුගේ නොමිදුනාවූ සිත හෝ කෙළෙසුන්ගෙන් මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය වීමට යෙත්ද, නොපැමිණියාවූ උතුම්වූ නිවණට හෝ අනුව පැමිණේද, එබඳුවූ මේ ධර්මයද, සියල්ල දන්නාවූ, සියලු දෙය දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට ප්‍රකාශ කරණ ලද්දාවූ එක් ධර්මයෙක් වේය’’ යි කීයේය.

’’නැවතද අනිකක් කියමි. ගෘහපතිය, භික්‍ෂු තෙම කරුණාව සමග ගියාවූ සිතින් එක් දිසාවක් පැතිර වාසය කරයි. එසේ දෙවන දිසාවද, එසේ තුන්වන දිසාවද, එසේ සතරවන දිසාවද පැතිර වාසය කරයි. මෙසේ උඩ, යට, සරස සියලු තන්හි සියල්ලන් කෙරෙහි සමව පැවති, සියල්ලන් ඇති ලෝකය පැතිරීමෙන් මහත්වූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, නිදුක්වූ, මෘදු භාවය සමග ගියාවූ, උපෙක්‍ෂාව සමග ගියාවූ සිතින් එක් දිසාවක් පැතිර වාසය කරයි. එසේ දෙවන දිසාවද, එසේ තුන්වන දිසාවද, එසේ සතරවන දිසාවද, පැතිර වාසය කරයි. මෙසේ උඩ, යට, සරස, සියලු තන්හි සියල්ලන් කෙරෙහි සමව පැවැත්තාවූ, සියල්ලන් ඇති ලෝකය පැතුරුනාවූ, මහත් බවට ගියාවූ, අප්‍රමාණවූ, වෛර නැත්තාවූ, නිදුක්වූ, උපෙක්‍ෂාව සමග ගියාවූ, සිතින් පැතිර වාසය කරයි. හෙතෙම මෙසේ සළකයි. මේ උපෙක්‍ෂා චිත්ත විමුක්තියද වනාහි රැස් කරණ ලද්දීය. සිතින් නිපදවන ලද්දීය. යම් කිසිවෙක් වනාහි රැස් කරණ ලදද, සිතින් නිපදවන ලදද, එය අනිත්‍යය. නිරුද්ධවීම ස්වභාවකොට ඇත්තේයයි දැනගනියි. හෙතෙම එහි සිටියේ ආශ්‍රවයන් නැසීමට පැමිණේ. ඉදින් ආශ්‍රවයන් නැසිමට නොපැමිණේනම් ඒ ධර්මයෙහි ඇල්මෙන්ම, ඒ ධර්මයෙහි සතුටෙන්ම, ඕරම්භාගීය සංයෝජන පස නැසීමෙන් ඕපපාතිකවූයේ, එහි පිරිණිවෙන සුළුවූයේ, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ගෘහපතිය, මෙයද වනාහි යම් ධර්මයෙක්හි අප්‍රමාදව, කෙලෙස් තවන විර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව, වාසය කරණ භික්‍ෂුහුගේ නොමිදුනාවූ සිත හෝ කෙළෙසුන්ගෙන් මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂය වීමට යෙත්ද, නොපැමිණියාවූ උතුම්වූ නිවණට හෝ අනුව පැමිණේද, එබඳුවූ සියල්ල දන්නාවූ, සියලු දෙය දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරණ ලද්දාවූ එක් ධර්මයෙක් වේයයි කීයේය.

’’නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, භික්‍ෂු තෙම සියලු ආකාරයෙන් රූප සංඥාවන්ගේ ඉක්මවීමෙන්, ප්‍රතිඝ සංඥාවන්ගේ නැසීමෙන්, නානත්ත සංඥාවන්ගේ මෙනෙහි නොකිරීමෙන්, ආකාශය අනන්තයයි ආකාශානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සළකයි. මේ ආකාශානඤ්චායන සමාපත්තියද වනාහි රැස්කරණ ලද්දේය. සිතින් නිපදවන ලද්දිය. යම් කිසිවක් වනාහි රැස් කරණ ලදද, සිතින් නිපදවන ලදද, එය අනිත්‍යය, නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේයයි දැනගණියි. හෙතෙම එහි සිටියේ, ආශ්‍රවයන් නැසීමට පැමිණේ. ඉදින් ආශ්‍රවයන්ගේ නැසීමට නොපැමිණේ නම්, ඒ ධර්‍මයෙහිවූ ඇල්මෙන්ම ඒ ධර්‍මයෙහි සතුටෙන්ම, ඕරම්භාගීය සංයෝජන පස නැසීමෙන් ඕපපාතික වූයේ, එහි පිරිණිවෙන සුලුවූයේ, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ වෙයි.

’’ගාහපතිය, මෙයද වනාහි යම් ධර්‍මයෙක්හි අප්‍රමාදව, කෙළස් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරණ භික්‍ෂුහුගේ නොමිදුනාවූ සිත හෝ, කෙළෙසුන්ගෙන් මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂයවීමට යෙද්ද, නොපැමිණියාවූ උතුම් නිවණට හෝ අනුව පැමිණේද, එබඳුවූ සියල්ල දන්නාවූ, සියලු දෙය දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරණලද්දාවූ එක් ධර්‍මයෙක් වේ.

’’නැවත අනිකක්ද කියමි. ගෘහපතිය, භික්‍ෂු තෙම සියලු ආකාරයෙන් ආකාශානඤ්චායතන සමාපත්තිය ඉක්මවා, විඤ්ඤාණය අනන්තයයි විඤ්ඤානඤ්චායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. සියලු ආකාරයෙන් විඤ්ඤාණඤ්චායතන සමාපත්තිය ඉක්මවා කිසිවක් නැතැයි ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියට පැමිණ වාසය කරයි. හෙතෙම මෙසේ සළකයි. මේ ආකිඤ්චඤ්ඤායතන සමාපත්තියද රැස්කරණ ලද්දීය. සිතින් නිපදවන ලද්දිය. යම් කිසිවක් වනාහි රැස් කරණ ලදද, සිතින් නිපදවන ලදද, එය අනිත්‍යය, නිරුද්‍ධවීම ස්වභාවකොට ඇත්තේයයි දැනගණියි. හෙතෙම එහි සිටියේ, ආශ්‍රවයන් නැසීමට පැමිණෙයි. ඉදින් ආශ්‍රවයන් නැසීමට නොපැමිණේ නම්, ඒ ධර්‍මයෙහිවූ ඇල්මෙන්ම, ඒ ධර්‍මයෙහි සතුටින්, ඕරම්භාගීය සංයෝජන පස නැසීමෙන් ඕපපාතික වූයේ, එහි පිරිණිවෙන සුලුවූයේ, ඒ ලෝකයෙන් පෙරලා නොඑන ස්වභාව ඇත්තේ වෙයි. ගාහපතිය, මේ ධර්මයද වනාහි යම් ධර්‍මයෙක්හි අප්‍රමාදව, කෙළසුන් තවන වීර්‍ය්‍ය ඇතිව, හරණ ලද ආත්මාලය ඇතිව වාසය කරණ භික්‍ෂුහුගේ නොමිදුනාවූ සිත හෝ, කෙළෙසුන්ගෙන් මිදේද, ක්‍ෂය නොවූ ආශ්‍රව හෝ ක්‍ෂයවීමට යෙද්ද, නොපැමිණියාවූ උතුම් නිවණට හෝ අනුව පැමිණේද, එබඳුවූ සියල්ල දන්නාවූ, සියලු දෙය දක්නාවූ, අර්හත්වූ, සම්‍යක් සම්බුද්‍ධවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මනාකොට දේශනා කරණලද්දාවූ එක් ධර්‍මයෙක් වේය’’ යි කීයේය.

’’මෙසේ කීකල්හි අට්ඨක නම් නුවර වැසි දසම නම් ගාහපති තෙම, ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට මෙය කීයේය. ’’ස්වාමීනි, ආනන්‍ද ස්ථවිරයන් වහන්ස, යම් සේ පුරුෂයෙක් තෙම එක් නිදන් දොරටුවක් සොයන්නේ, එක්වරම නිදන් දොරටු එකොළොසක් ලබන්නේද, ස්වාමීනි, එපරිද්දෙන්ම මම එක් නිවන් දොරටුවක් සොයන්නේ, එකවරම නිවන් දොරටු එකොළොසක් සේවණය කිරීමට ලැබූයෙමි. ස්වාමීනි, යම් සේ පුරුෂයෙකුගේ දොරටු එකොළොසක් ඇති ගෙයක් වේද, හෙතෙම ඒ ගෙය ගිනි ඇවිලගත් කල්හි, එකෙක දොරටුවෙනුත් තමහට සුවයක් කරන්ට හැකි වන්නේද, ස්වාමීනි, මෙපරිද්දෙන්ම මම මේ නිවන් දොරටු එකොළොස අතුරෙන් එක එක දොරටුවකිනුත් තමහට සුවයක් කරන්නට හැකිවන්නෙමි. ස්වාමීනි, මේ අන්‍ය තීත්‍ර්‍ථයෝ නම් ගුරුවරයාට ගුරු වැටුප් සොයන්නාහුය. කුමක් හෙයින් වනාහි මම ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට පූජාවක් නොකරන්නෙම්දැ’’ යි කීයේය.

’’ඉක්බිති, අට්ඨක නම් නුවර වැසි දසම නම් ගෘහපති තෙම විසල් නුවර වැසි වූද, පැළලුප් නුවර වැසි වූද, භික්‍ෂු සංඝයා රැස්කරවා, ප්‍රණීතවූ කෑයුතු දෙයින්ද, බුදියයුතු දෙයින්ද, සියතින් මනාකොට සන්තර්‍පණය කෙළේය. මනාකොට පවාරණය කෙළේය. එක් එක් භික්‍ෂුවද වෙන වෙන වස්ත්‍ර යුග්මයකින් හැන්දවීය. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේද තුන් සිවුරකින් හැඳවී. ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේට පන්සියයක් වටිනා විහාරයක්ද කරවූයේය.’’