අංගුත්තර නිකාය
එක නිපාතය
10. ලෝණඵල වර්ගය
101. ජාතරූපධොවන සූත්‍රය
“මහණෙනි, ස්වර්ණයාගේ ඖදාරික උපක්ලෙශයෝ ඇත්තාහ. එනම්, පස් වැලි කැටකැබිලිති යන මේවාය.
“ඒ ස්වර්ණය පස් සෝදන්නෙක් හෝ පස් සෝදන්නෙකුගේ අතවැසියෙක් හෝ ඔරුවක දමා සෝදයි. මනාව සෝදයි, සොලව සොලවා සෝදයි.
“ඒ පස් වැලි පහකළ කල්හි නැතිකළ කල්හි ස්වර්ණයාගේ මධ්‍යමවූ උපක්ලෙශයෝ ඇත්තාහ. එනම් කුඩා ගල් කැට ගොරෝසු වැලි යන මේවාය.
“ඒ ස්වර්ණය පස් සෝදන්නා හෝ පස් සෝදන්නාගේ අතවැසියා හෝ සෝදයි, මනාකොට සෝදයි, සොළවමින් සෝදයි.
“ඒ කුඩා ගල් වැලිකැට පහවූ කල්හි නැතිව ගිය කල්හි ස්වර්ණයාගේ සියුම් උපක්ලෙශයෝ ඇත්තාහ. එනම් සියුම් වැලි කළු වැලි යන මේවාය.
“ඒ ස්වර්ණය පස් සෝදන්නා හෝ පස් සෝදන්නාගේ අතවැසියා හෝ සෝදයි. මනාව සෝදයි, සොලවමින් සෝදයි.
“එය පහවූ කල්හි එය නැතිවූ කල්හි රන්කුඩු පමණක් ඉතිරි වෙත්. රන්කරුවා හෝ රන්කරුවාගේ අතවැසියා හෝ එම රන්කුඩු කෝවෙහි දමා ගිනි පිඹියි. මනාව ගිනි පිඹියි, නැවත නැවත ගිනි පිඹියි. ගිනි පිඹින ලද මනාව ගිනි පිඹින ලද නැවත නැවත ගිනි පිඹින ලද ඒ ස්වර්ණය යොග්‍ය නොවූයේ දුරුනොවූ කහපාට ඇත්තේ මෘදුනොවූයේ වැඩට යොග්‍ය නොවූයේ බැබලීමක් නැත්තේ බිඳෙනසුලුවූයේ රන්කමට මනාව නොපැමිණෙයි.
“මහණෙනි, රන්කරුතෙමේ හෝ රන්කරු අතවැසි තෙමේ හෝ එම ස්වර්ණයට ගිනි පිඹියි. මනාව ගිනි පිඹියි. නැවත නැවත ගිනි පිඹියි. එසේ ගිනි පිඹින ලද මනාව ගිනි පිඹින ලද නැවත නැවත ගිනි පිඹින ලද ඒ ස්වර්ණය යොග්‍ය වන්නාවූද කහපාට දුරුවූද මෘදුවූද වැඩට යොග්‍යවූද බබලන්නාවූද නොබිඳෙන්නාවූද රන්කමට මනාව පැමිණෙන්නාවූද කාලයක් වන්නේය.
“යම් යම් පළඳනා විශෙෂයකින් ඉදින් රන්පටකින් ඉදින් කුණ්ඩලාභරණයකින් ඉදින් ග්‍රීවාභරණයකින් ඉදින් රන් මාලයකින් කැමති වෙයිනම් ඔහුගේ ඒ අර්ථය සම්පූර්ණ වෙයි.
“මහණෙනි, එපරිද්දෙන්ම සමථවිදර්ශනා භාවනාවන්හි යෙදෙන්නාවූ භික්ෂුවට ඕළාරික උපක්ලෙශයෝ ඇත්තාහ. එනම්: කාය දුශ්චරිතය, වාක් දුශ්චරිතය, මනො දුශ්චරිතය යන මොහුය.
“සමාධියෙන් යුත් නුවණැති ඒ භික්ෂුව ඒ උපක්ලෙශයන් පහකරයි, දුරුකරයි, නැවත නූපදින බවට පමුණුවයි.
“එය පහවූ කල්හි දුරුවූ කල්හි සමථවිදර්ශනා භාවනායෙහි යෙදෙන්නාවූ භික්ෂුවට මධ්‍යම උපක්ලෙශයෝ ඇත්තාහ. එනම් කාමවිතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක යන මොහුය.
“සමාධියෙන් යුත් නුවණැති ඒ භික්ෂුව එය පහකරයි, දුරුකරයි, නැති කරයි.
“එය පහවූ කල්හි දුරුවූ කල්හි නැතිවූ කල්හි සමථවිදර්ශනා භාවනාවෙහි යෙදෙන්නාවූ භික්ෂුවට සියුම්වූ උපක්ලෙශයෝ ඇත්තාහ. එනම් ජාතිවිතර්ක ජනපද විතර්ක මට අන්‍යයෝ අවමන් නොකෙරෙත්වායි සිතන විතර්ක යන මොහුය
සමාධියෙන් යුත් නුවණැති ඒ භික්ෂුව එය පහ කරයි. දුරුකරයි නැති කරයි.
“එය පහවූ කල්හි දුරුවූ කල්හි නැතිවූ කල්හි ඉන්පසු ධර්මවිතර්කයෝම (දශ විදර්ශනොපක්ලෙශයෝම) ඉතිරි වෙත්. ඒ සමාධිය ශාන්ත නොවේ. ප්‍රණීත නොවේ කෙලෙස් සංසිඳීමෙන් ලබන ලද්දේ නොවෙයි. එකඟ බවට පැමිණියේ නොවෙයි උත්සාහයෙන් ක්ලෙශයන් නිග්‍රහකොට වළක්වන ලද්දේ වෙයි. මහණෙනි, යම් කලෙක්හි තමා කෙරෙහිම සිටීද මොනවට හිඳීද, එකඟ බවට පැමිණෙයිද, අරමුණෙහි මනාව පිහිටයිද, ඒ කාලය වෙයිද, ඒ සමාධිය ශාන්තවෙයි, ප්‍රණීත වෙයි. කෙලෙස් සංසිඳවීමෙන් ලබන ලද්දේ වෙයි. එකඟ බවට පැමිණියේ වෙයි. උත්සාහයෙන් කෙලෙසුන් නිග්‍රහ කොට නොවළක්වන ලද්දේ වෙයි.
විශෙෂ ඥානයෙන් දතයුතුවූ යම් යම් ධර්මයකට සිත නමයි නම් කරුණු ඇති ඇති සැටියෙන් විශෙෂ ඥානයෙන් දතයුතුවූ ඒ ඒ ධර්මයන් දතහැකි බවට පැමිණෙයි. හෙතෙම ඉදින් නොයෙක් ඍද්ධිවිධි අනුභව කරන්නෙමැයි කැමති වෙයි නම්
(මෙහි බ්‍රාහ්මණ වර්ගයේ 10 සංගාරව සූත්‍රයේ 12 ඡෙදය යෙදිය යුතුයි. ‘බමුණ,..... ලැබේ’ යන කොටස් අත් හරින්න) කැමතිවන්නේ නම් කරුණු ඇති ආකාරයෙන් ඒ ඒ දෙයෙහි හැකිබවට පැමිණෙන්නේය.
“හෙතෙම ඉදින් මනුෂ්‍යත්වය ඉක්ම සිටියාවූ දිව්‍ය ශ්‍රොතධාතුවෙන් දුරවූද සමීපවූද දිව්‍යවූද මනුෂ්‍යවූද දෙවදෑරුම් ශබ්දයන් අසන්නෙමැයි කැමතිවෙයි නම් කරුණු ඇතිසැටියෙන් ඒ ශබ්ද ඇසියහැකි බවට පැමිණෙයි.
ඉදින් හෙතෙම අන්‍ය සත්වයන්ගේ අන්‍ය පුද්ගලයන්ගේ සිත් තමාගේ සිතින් දැනගන්නෙමි. රාග සහිත සිත රාග සහිත සිතයයි දැනගන්නෙමි. රාග රහිත සිත රාග රහිත සිතයයි දැනගන්නෙමි. ද්වෙෂ සහිත සිත ද්වෙෂ සහිත සිතයයි දැනගන්නෙමි. මොහ සහිත සිත මොහ සහිත සිතයයි දැනගන්නෙමි. විසුරුණු සිත වික්ෂිප්ත සිතයයි දැනගන්නෙමි. මහද්ගත සිත මහද්ගත සිතයයි දැනගන්නෙමි. අමහද්ගත සිත අමහද්ගත සිතයයි දැනගන්නෙමි. සඋත්තර සිත සඋත්තර සිතයයි දැනගන්නෙමි. අනුත්තර සිත අනුත්තර සිතයයි දැනගන්නෙමි. සමාහිත සිත සමාහිත සිතයයි දැනගන්නෙමි. අසමාහිත සිත අසමාහිත සිතයයි දැනගන්නෙමි. අවිමුත්ත සිත අවිමුත්ත සිතයයි දැනගන්නෙමි විමුත්ත සිත විමුත්ත සිතයයි දැනගන්නෙමියි කැමැති වෙයි. නම් එහි කරුණු ඇතිසැටියෙන් හැකි බවට පැමිණෙයි.
“ඉදින් හෙතෙම නොයෙක් පෙරවිසූ ස්කන්ධයන් සිහි කරන්නෙමියි කැමති වෙයි නම් එනම් (මෙහි බ්‍රාහ්මණ වර්ගයේ (8) තිකණ්ණ සූත්‍රයේ 4, 5 ඡෙද යෙදිය යුතුයි) මෙසේ නොයෙක් පෙරවිසූ ස්කන්ධයන් සිහිකරන්නෙමියි කැමති වේ නම් එය කරුණු ඇතිසැටියෙන් කළ හැකි බවට පැමිණෙයි
(මෙහි බ්‍රාහ්මණ වර්ගයේ 8 සූත්‍රයේ 8 ඡෙදය යෙදිය යුතුයි. “කෙසේද?” යන්න අත්හරින්න) කැමති වේනම් එය කරුණු ඇතිසැටියෙන් කළහැකි බවට පැමිණෙයි.
‘ඉදින් හෙතෙම ආශ්‍රවයන් ක්ෂය කිරීමෙන් ආශ්‍රව රහිතවූ අර්හත්ඵල සමාධියත් අර්හත්ඵල ප්‍රඥාවත් මේආත්මයෙහි තෙමේම විශෙෂ ඥානයෙන් ප්‍රත්‍යක්ෂ කොට ඊට පැමිණ වාසය කරන්නෙමැයි කැමති වෙයි නම් එය කරුණු ඇති සැටියෙන් කළහැකි බවට පැමිණෙන්නේය.