අංගුත්තර නිකාය

එක නිපාතය

10. ලෝණඵල වර්ගය

99. පොත්ථකූපම සූත්‍රය

‘මහණෙනි, අලුත්වූ වැහැරි වස්ත්‍රයද දුර්වර්ණ වූයේද කෲර ස්පර්ශය ඇත්තේද නොවටින්නේද වෙයි. මහණෙනි, මධ්‍යම තරම කල්ගතවූ වැහැරි වස්ත්‍රයද දුර්වර්ණ වූයේත් කෲර ස්පර්ශය ඇත්තේත් නොවටින්නේත් වෙයි. මහණෙනි, පරණවූ වැහැරී වස්ත්‍රයද දුර්වර්ණ වූයේත් කෲර ස්පර්ශය ඇත්තේත් නොවටින්නේත් වෙයි.

“මහණෙනි, පරණවූ වැහැරි වස්ත්‍රය හැළිවළන් පිසින්නක් හෝ කරත්. කසළ ගොඩෙයි හෝ දමත්.

“මහණෙනි, එසේම නවක භික්ෂුතෙමේද.

‘දුශ්ශීලවූයේ ලාමක ස්වභාවය ඇත්තේවෙයිද මෙය ඔහුගේ දුර්වර්ණතාව යයි කියමි. මහණෙනි, ඒ වැහැරි වස්ත්‍රය

යම්සේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි මහණෙනි, යම් කෙනෙක් ඔහු සෙවනය කරද්ද, භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද ඔවුන්ට එය බොහෝ කාලයක් අහිත පිණිස දුක් පිණිස පවතියි. මෙය ඔහුගේ කෲර ස්පර්ශයයි කියමි.

“මහණෙනි, යම්සේ වැහැරි වස්ත්‍රය කෲර ස්පර්ශ ඇත්තේද මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා කොට කියමි යමෙකුන්ගේ චීවර පිණ්ඩපාත සෙනාසන ගිලානප්‍රත්‍ය බෙහෙත් පිරිකර පිළිගනියි නම් ඔවුන්ට එය මහත්ඵල ඇත්තේත් නොවෙයි. මහත් ආනිසංස ඇත්තේත් නොවෙයි. මෙය ඔහුගේ නොවටිනා බවයයි කියමි.

“මහණෙනි, යම්සේ ඒ වැහැරි වස්ත්‍රය නොවටින්නේ වේද, මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමාකොට කියමි.

“මහණෙනි, මධ්‍යම භික්ෂුතෙමේද (මෙහි මේ සූත්‍රයේ 3–4-5 ඡෙද යෙදිය යුතුයි)

“මහණෙනි, ස්ථවිර භික්ෂුතෙමේද (මෙහි මේ සූත්‍රයේ 3–4-5 ඡෙද යෙදිය යුතුයි.

“මහණෙනි, මෙබඳුවූ ස්ථවිර භික්ෂුතෙම සංඝයා මධ්‍යයෙහි කථාකරයිද ඔහුට භික්ෂූහු ‘බාලවූ අව්‍යක්තවූ ඔබගේ කීමෙන් කිනම් අර්ථයෙක්ද? ඔබත් කියයුත්තෙකු කොට හඟින්නෙහිදැයි’ කියන්නාහුය. කිපුණාවූ නොසතුටුවූ සිත් ඇත්තාවූ හෙතෙම යම් වචනයකින් සංඝතෙම වැහැරි වස්ත්‍රය කසලගොඩට දමන්නාක් මෙන් ඔහු බැහැර කරන්නේද එබඳු වචනයක් කියයි.

වත්ථොපම සූත්‍රය

“මහණෙනි, අලුත්වූද කසී වස්ත්‍රය වර්ණයෙන් යුක්ත වූයේද සැප ස්පර්ශයෙන් යුක්ත වූයේද බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, මධ්‍යමවූ කසී වස්ත්‍රයද වර්ණයෙන් යුක්තවූයේද සැප ස්පර්ශයෙන් යුක්ත වූයේද බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, පරණවූ කසී වස්ත්‍රයද වර්ණයෙන් යුක්තවූයේද සැප ස්පර්ශයෙන් යුක්ත වූයේද බොහෝ වටින්නේද වෙයි. මහණෙනි, පරණවූද කසී සලුව රත්න වෙලන්නක් හෝ කරත්. සුවඳ කරඬුවෙහි හෝ තැන්පත් කරත්.

මහණෙනි, එසේම නවකවූද භික්ෂුව.

“සිල්වත් වූයේ යහපත් ස්වභාව ඇත්තේ වෙයිද, මෙය ඔහුගේ යහපත් වර්ණඇති බවයයි කියමි. මහණෙනි, යම්සේ කසී වස්ත්‍රය වර්ණයෙන් යුක්තවූයේද, මහණෙනි, මම මේ පුද්ගලයාද එබඳු උපමා ඇත්තෙකැයි කියමි. මහණෙනි, යම්කෙනෙක් ඔහු සෙවනය කරද්ද භජනය කරද්ද, පයුරුපාසනය කරද්ද, අනුගමනය කරද්ද එය ඔවුන්ට බොහෝ කලක් හිත පිණිස සැප පිණිස වෙයි. මහණෙනි, මෙය ඔහුගේ සැප ස්පර්ශය ඇතිබවයයි කියමි.

“යම් කෙනෙකුන්ගේ චීවර පිණ්ඩපාත සෙනාසන ගිලන්පස බෙහෙත් පිරිකර පිළිගනියිද එය ඔවුන්ට මහත්ඵල ඇත්තේ වෙයි. මහානිසංස ඇත්තේ වෙයි. මෙය ඔහුගේ බොහෝ වටිනා බවයයි කියමි.

“මහණෙනි, මම මේ පුද්ගලයාද ඊට උපමා ඇත්තෙකැයි කියමි

“මහණෙනි, මධ්‍යමවූ භික්ෂුවද (මෙහි මේ සූත්‍රයේ 2–3-4 ඡෙද යෙදිය යුතුයි)

“මහණෙනි, ස්ථවිර භික්ෂුතෙමේද (මෙහි මේ සූත්‍රයේ 2–3-4 ඡෙද යෙදිය යුතුයි.

“මහණෙනි, මෙබඳුවූ ස්ථවිර භික්ෂුතෙමේ සංඝයා මධ්‍යයෙහි කථා කරයිද, ඔහුට භික්ෂූහු මෙසේ කියත්. කෙසේද ‘ආයුෂ්මත්වරුනි, නිශ්ශබ්ද වව් තෙරුන්වහන්සේ ධර්මයත් විනයත් ප්‍රකාශකරත්’ කියයි. මහණෙනි, එහෙයින් තොප විසින් කසී වස්ත්‍රයකට උපමා ඇත්තෝ වන්නෙමු. වැහැරි වස්ත්‍රයකට උපමා ඇත්තෝ නොවන්නෙමුයි හික්මිය යුතුය. මහණෙනි, තොප විසින් මෙසේ හික්මිය යුතුයයි වදාළේය.”