අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

4. හතරවෙනි පණ්ණාසකය

(19) 4. යොධාජීව වර්‍ගය (බ්‍රාහ්මණ වර්‍ගය)

1. යොධාජීව සූත්‍රය

’’මහණෙනි, කරුණු සතරකින් යුක්තවූ යොධ තෙමේ, රජුට සුදුසුවූයේ, රජුගේ වස්තුව වූයේ, රජුට අග්‍රය යන සංඛ්‍යාවට යයි. කවර සතරකින්ද යත්, මහණෙනි, මේ ලෝකයෙහි යෝධ තෙම ස්ථානයෙහි දක්‍ෂ වේද, ඈත පනින්නේ වේද, විදුලි එලියෙන් විදින්නේ වේද, මහත් ඝණ ඇති දෙයක් විදින්නේද, මේ කරුණු සතරින් යුක්තවූ යුද්‍ධයෙන් ජීවත්වන්නා රජුට සුදුසු වේ. රජුගේ භෝගය වෙයි. රජුට අග්‍රයයි යන සංඛ්‍යාවට යේ.

’’මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණ තෙමේ, ආහුණෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාගේ නිරුත්තර පුණ්‍ය ක්‍ෂෙත්‍රයයි.

’’කවර සතරකින්ද යත්. මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම ස්ථානයෙහි දක්‍ෂ වේද, ඈත පනින්නේ වේද, විදුලි එලියෙන් විදින්නේ වේද, මහත් ඝණයන් පලන්නේ වේද, මහණෙනි, මහණතෙම කෙසේ ස්ථානයෙහි දක්‍ෂවේද?

’’මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම සිල්වත්ද, සංවරවූයේ වේද, ආචාරයෙන් හා ගෝචරයෙන් යුක්තද, සුලු වරදෙහි බිය දක්නා ස්වභාව වේද, ශික්‍ෂා පදයන් සමාදන්ව රකීද, මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම ස්ථානයෙහි දක්‍ෂ වේ.

’’මහණෙනි, කෙසේ මහණ තෙම දුර හෙන්නේ වේද? මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම අතීතානාගත වර්‍තමානවූ, අධ්‍යාත්මිකවූ හෝ, බාහිරවූ හෝ, ඖදාරිකවූ හෝ, සියුම්වූ ලාමකවූ හෝ, ප්‍රණීතවූ හෝ, ඈත හෝ, සමීපයෙහි වූ යම් රූපයක් වේද, සියළු රූපය, එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි වේදනාවක් ඇත්ද, යම් වේදනාවක් වේද, සියළු වේදනාව එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි සංඥාවක් ඇත්ද, යම් සංඥාවක් වේද, සියළු සංඥාව එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි සංස්කාරයක් ඇත්ද, යම් සංස්කාරයක් වේද, සියළු සංස්කාරය එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. යම්කිසි විඤ්ඤාණයක් ඇත්ද, යම් විඤ්ඤාණයක් වේද, සියළු විඤ්ඤාණය එය මගේ නොවේ, මේ තෙම මම නොවෙමි, හෙතෙම මගේ ආත්මය නොවේයයි මෙසේ මෙය තත්වූ පරිද්දෙන් සම්‍යක් ප්‍රඥාවෙන් දකී. මහණෙනි, මෙසේ වනාහි මහණ තෙම දුර හෙන්නේ වේ.

’’මහණෙනි, කෙසේ මහණ තෙම විදුලි එලියෙන් විදින්නේ වේද? හෙතෙම මේ දුකයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් ඉපදීමට හේතුවයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් නැති කිරීමයයි තත්වූ පරිද්දෙන් දනී. මේ දුක් නැතිකිරීමට යන ප්‍රතිපදාවයයි තත්වූ පරිද්දෙන් දනී. මහණෙනි, මෙසේ මහණ තෙම විදුලි එලියෙන් විදින්නේ වේ.

’’මහණෙනි, මහණ තෙම කෙසේ මහත් ඝනයක් විදින්නේ වේද, මහණෙනි, මේ ශාසනයෙහි මහණ තෙම මහත්වූ අවිද්‍යා සම්බන්‍ධයක් පලයිද, මහණෙනි, මෙසේ මහණ තෙම මහත්වූ ශරීරයක් ප්‍රදාලනය කරන්නේ වේ.

’’මහණෙනි, එසේම කරුණු සතරකින් යුක්ත මහණ තෙමේ, ආහුණෙය්‍ය වේ. පාහුණෙය්‍ය වේ. දක්ඛිණෙය්‍ය වේ. අඤ්ජලිකරණීය වේ. ලෝකයාගේ නිරුත්තර පුණ්‍ය ක්‍ෂෙත්‍රයයි.