අඞ්ගුත්තරනිකායො

ඡක්ක නිපාතය

2. දුතිය පණ්ණාසකය

7. දේවතා වර්‍ගය (අනාගාමි වර්‍ගය)

3. භික්ඛුපාපමිත්ත සූත්‍රය

’’මහණෙනි, ඒකාන්තයෙන් පවිටු මිත්‍රයන් ඇති, පවිටන් සහාය කොට ඇති, පවිටන්ට නැමෙන. පවිටු මිත්‍රයන් ආශ්‍රය කරණ, සේවනය කරණ, ඒ මහණ තෙම ඔවුන්ගේ අදහස්වලට අනුව හැසිරෙන්නේ, හැසිරීම පිළිබඳ සිරිත් විරිත් ආරක්‍ෂා කරයි යන, මෙය සිදු නොවේ. හැසිරීම පිණිසවූ සිරිත් විරිත් නොරැක (යට මාර්ග ඵල සතෙහි) ශෛක්‍ෂධර්‍ම පුරයි යන මෙය විද්‍යමාන නොවේ. ශෛක්‍ෂධර්‍ම නොපුරා, සිල් පුරන්නේය යන මෙය විද්‍යමාන නොවේ. සිල් නොපුරා, කාමාශාව හෝ, රූපාශාව හෝ, අරූප ආශාව හෝ දුරු කරන්නේය යන මෙය විද්‍යමාන නොවේ.

’’මහණෙනි, ඒකාන්තයෙන් යහපත් මිත්‍රයන් ඇති, යහපත් මිත්‍රයන් සහාය කොට ඇති, යහපත් මිත්‍රයන්ට නැමෙන. යහපත් අය හා ආශ්‍රය කරණ, සේවනය කරණ, ඒ මහණ තෙම ඔවුන්ගේ අදහස්වලට අනුව හැසිරෙන්නේ, හැසිරීම පිළිබඳ සිරිත් විරිත් පුරවන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. හැසිරීම පිළිබඳ සිරිත් විරිත් පුරා ශෛක්‍ෂධර්‍ම පුරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. ශෛක්‍ෂධර්‍ම පුරා, සිල් පුරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ. සිල් පුරා, කාමාශාව, රූපාශාව, අරූපාශාව දුරු කරන්නේය යන මේ කාරණය විද්‍යමාන වේ.