මජ්ඣිම නිකාය
උපරි පණ්ණාසය
2. අනුපද වර්ගය
115. බහුධාතුක සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් කලෙක්හි භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අනේපිඩු සිටුහු විසින් කරවනලද ජෙතවනාරාමයෙහි වැඩ වසනසේක. එහිදී භාග්‍යවතුන් වහන්සේ ‘මහණෙනි, කියා භික්ෂූන්ට කථා කළහ. ‘ස්වාමීනි’ කියා ඒ භික්ෂූහු භාග්‍යවතුන් වහන්සේට උත්තර දුන්හ. භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක.
“මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූඋපදී. යම් කිසි උවදුරක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී.
“මහණෙනි, යම්කිසි බටකොළ සෙවිලි කළ ගෙයක් හෝ තණකොළ සෙවිලි කළ ගෙයක් හෝ ගිනි ඇවිලුනේ යම්සේ ගේමුදුන් දවාද, සුනු පිරියම් කළ වෙසෙන තැන්ද අගුළු ගැසූ දොරවල්ද, වසනලද වාතකවුළුද යන සියල්ල අළු කෙරේද, එසේම මහණෙනි, යම්කිසි බියක් උපදීනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී, පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි උපද්‍රවයක් උපදීනම්, ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී. යම්කිසි විපත්තියක් වේනම් ඒ සියල්ල බාලයා කෙරෙන් උපදී. පණ්ඩිතයා කෙරෙන් නූපදී.
“මහණෙනි, මෙසේ බාලතෙම බිය සහිතවේ. පණ්ඩීත තෙමේ බිය රහිතවේ. බාලතෙමේ උවදුරු සහිතවේ. පණ්ඩිත තෙමේ උවදුරු රහිතවේ. බාලතෙමේ විපත්ති සහිතවේ. පණ්ඩිත තෙමේ විපත්ති රහිත වේ.
“මහණෙනි, පණ්ඩිතයා කෙරෙන් (ඇතිවන) බියක් නැත. පණ්ඩිතයා කෙරෙන් (ඇතිවන) උවදුරක් නැත. පණ්ඩිතයා කෙරෙන් (ඇතිවන) විපතක් නැත. මහණෙනි, එහෙයින් මෙහිදී විමසා කටයුතු කරන පණ්ඩිතයෝ වෙමුයයි මහණෙනි, මෙසේ වනාහි තොප විසින් හික්මිය යුතුය”යි වදාළසේක.
මෙසේ වදාළකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිර තෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙසේ සැළකෙළේය. “ස්වාමීනි, කොපමණකින් වනාහි මහණතෙමේ විමසා කටයුතු කරන පණ්ඩිතයෙකැයි කීමට සුදුසුවේද?” යනුයි.
“ආනන්දය, යම්තැනක පටන් මහණතෙමේ (අටළොස්) ධාතු දැනීමෙහි දක්ෂවේද, ආයතන දැනීමෙහි දක්ෂවේද, පටිච්චසමුප්පාදය දැනීමෙහි දක්ෂවේද, කරුණු නොකරුණු දැනීමෙහි දක්ෂවේද, ආනන්දය, මෙපමණකින් භික්ෂුතෙම විමසීමෙහි කටයුතු කරන පණ්ඩිතයෙකැයි කීමට සුදුසුවේ.”
“ස්වාමීනි, කොපමණකින් වනාහි භික්ෂූතෙමේ ධාතුන්හි දක්ෂයෙකැයි කීමට සුදුසුවේද?” “ආනන්දය, මේ ධාතූහු වනාහි මෙපමණ වෙති. චක්ඛු ධාතුය, රූප ධාතුය චක්ඛු විඤ්ඤාණ ධාතුය-සොත ධාතුය-සද්ද ධාතුය-සොත විඤ්ඤාණ ධාතුය-ඝාණ ධාතුය-ගන්ධ ධාතුය-ගන්ධ විඤ්ඤාණ ධාතුය-ජිව්හා ධාතුය රස ධාතුය-ජිව්හා විඤ්ඤාණ ධාතුය-කායධාතුය-ඵොට්ටබ්බ ධාතුය-කාය විඤ්ඤාණ ධාතුය-මනො ධාතුය-ධම්ම ධාතුය-මනො විඤ්ඤාණ ධාතුය කියායි. ආනන්දය, මේ අටළොස් ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂයෙකැයි කීමට සුදුසුය.
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂ භික්ෂූවකැයි කීමට සුදුසු අනික් ක්‍රමයකුදු ඇත්තේද?” “ආනන්දය, ඇත්තේය. ආනන්දය, මේ ධාතූහු සදෙනෙක් වෙති. පඨවි ධාතුය-ආපො ධාතුය-වායො ධාතුය-තෙජො ධාතුය-ආකාස ධාතුය-විඤ්ඤාණ ධාතුය කියායි.
“ආනන්දය, මේ සය වැදෑරුම් ධාතූන් යම්තැනක පටන් කොට දනීද? දකීද? මෙපමණකිනුදු ආනන්දය, ධාතූන්හි දක්ෂවූ භික්ෂූවකැයි කීමට සුදුසුවෙයි.”
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂවූ භික්ෂූවකැයි කීමට සුදුසු අනික් ක්‍රමයකුදු වන්නේද?” “ආනන්දය, වන්නේය. ආනන්දය, මේ ධාතුහු සය දෙනෙක් වෙති. සුඛ ධාතු-දුක්ඛ ධාතු-සොමනස්ස ධාතු, දොමනස්ස ධාතු, උපෙක්ඛා ධාතු, අවිජ්ජා ධාතු කියායි. ආනන්දය, මේ සය වැදෑරුම් ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු ධාතූන්හි දක්ෂවූ භික්ෂූවකැයි කීමට සුදුසුවෙයි.”
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසු අනික් ක්‍රමයකුදු ඇත්තේද?” “ඇත්තේය, ආනන්දය, මේ ධාතුහු සයදෙනෙක් වෙති. කාම ධාතු-නෙක්ඛම්ම ධාතු-ව්‍යාපාද ධාතු, අව්‍යාපාද ධාතු, විභෙසාධාතු, අවිභෙසා ධාතු කියායි. ආනන්දය, මේ ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවෙයි.”
“ස්වාමීනි, යම්සේ ධාතුන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසු අනික් ක්‍රමයකුදු ඇත්තේද?” “ආනන්දය, ඇත්තේය. මේ තුන් වැදෑරුම් ධාතූහු වෙත්. කාම ධාතුය, රූප ධාතුය, අරූප ධාතුය කියායි. ආනන්දය, මේ තුන් වැදෑරුම් ධාතූන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණකිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවේය” යනුයි.
“ස්වාමීනි, යම්සේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවූ අනික් ආකාරයකුදු ඇත්තේද?” “ආනන්දය, ඇත්තේය. ආනන්දය, මේ ධාතූහු දෙදෙනෙක් වෙති. සංකත ධාතුය, අසංකත ධාතුය කියායි. ආනන්දය, මේ ධාතූන් දෙදෙන යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, මෙපමණ කිනුදු මහණතෙමේ ධාතූන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසු වෙයි.
“ස්වාමීනි, කොපමණකින් ආයතනයන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුද?” “ආනන්දය, මේ අධ්‍යාත්මික බාහිර ආයතනයෝ සදෙනෙක් වෙති. ඇසද, රූපයද, කණද, ශබ්දයද, නාසයද, ගන්ධයද, දිවද රසයද, කයද, ස්පර්ශයද, සිතද, ධර්මා රම්මණයෝද කියායී. ආනන්දය, මේ සවැදෑරුම්වූ අධ්‍යාත්මික බාහිර ආයතනයන් යම්තැනක පටන්කොට දනීද, දකීද, ආනන්දය, එපමණකින් ආයතනයන්හි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුය.
“ස්වාමීනි, කොපමණකින් වනාහි පටිච්ච සමුප්පාදයෙහි දක්ෂවූ භික්ෂුවකැයි කීමට සුදුසුවේද?” “ආනන්දය, මේ ශාසනයෙහි මහණතෙමේ මෙසේ දැනගනීද මෙය ඇතිකල්හි මෙය වේ. මොහුගේ ඉපදීමෙන් මෙය උපදී. මෙය නැතිකල්හි මෙය නොවේ මොහුගේ නිරුද්ධවීමෙන් මෙය නිරුද්ධ වේ. එනම් අවිද්‍යාවගේ හේතුවෙන් සංස්කාරයෝ වෙති. සංස්කාර හේතුවෙන් විඤ්ඤාණයවේ. විඤ්ඤාණ හේතුවෙන් නාමරූප වේ. නාමරූප හේතුවෙන් ෂඩායතන වේ. ෂඩායතන හේතුවෙන් ස්පර්ශය වේ. ස්පර්ශ හේතුවෙන් වේදනාව වේ. වෙදනා හේතුවෙන් තෘෂ්ණාව වේ. තෘෂ්ණා හේතුවෙන් දැඩිකොට ගැනීම වේ. දැඩිකොට ගැනීම් හේතුවෙන් භවයවේ. භව හේතුවෙන් ජාතියවේ. ජාති හේතුවෙන් ජරා මරණද සොක පරිදෙව දුක් දොම්නස් උපායාසයෝද හටගනිත්. මෙසේ මේ තනි දුක් සමූහයාගේ ඇතිවීමවේ.
“අවිද්‍යාව ඉතිරි නොකොට නිරුද්ධකිරීමෙන්ම සංස්කාර නිරොධයවේ. සංස්කාර නිරොධයෙන් විඤ්ඤාණනිරොධයවේ. විඤ්ඤාණ නිරොධයෙන් නාමරූප නිරොධයවේ. නාමරූප නිරොධයෙන් සළායතන නිරොධයවේ. සළායතන නිරොධයෙන් ඵස්ස නිරොධයවේ. ඵස්සනිරොධයෙන් වේදනා නිරොධයවේ. වේදනා නිරොධයෙන් තණ්හා නිරොධයවේ. තණ්හා නිරොධයෙන් උපාදාන නිරොධයවේ. උපාදාන නිරොධයෙන් භවනිරොධයවේ. භවනිරොධයෙන් ජාතිනිරොධයවේ. ජාති නිරොධයෙන් ජරා මරණ සොක පරිදේව දුක් දොම්නස් උපාදානයෝ නිරුද්ධවෙත්. මෙසේ තනි දුඃඛ සමූහයාගේම නිරොධය වේයයි (දැනගනීද) ආනන්දය, මෙතෙකින් වනාහි පටිච්චසමුප්පාදයෙහිවූ දක්ෂ භික්ෂුවකැයි කීමට සුදුසුවෙයි.”
“ස්වාමීනි, කොපමණකින් වනාහි මහණ තෙමේ කාරණ අකාරණ දෙක්හි දක්ෂයෙකැයි කීමට සුදුසුවේද?” “ආනන්දය, මෙම ශාසනයෙහි මහණ තෙමේ යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙක් වේද, (හෙතෙම) කිසියම් සංස්කාරයක් නිත්‍යවශයෙන් ගන්නේ නම් ඊට කරුණු නැතැයි එසේ කීමට අවකාශයක්ද නැතැයි දන්නේද, යම් හෙයකින් පෘථග්ජනයෙක් තෙම කිසියම් සංස්කාරයක් නිත්‍ය වශයෙන් ගන්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇත්තේ යයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙක් තෙම කිසියම් සංස්කාරයක් සැප වශයෙන් ගන්නේ නම් ඊට කරුණු නැත. අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පෘථග්ජනතෙමේ කිසියම් සංස්කාරයක් සැප වශයෙන් ගන්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලතෙමේ කිසියම් ධර්මයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පෘථග්ජන තෙමේ කිසියම් ධර්මයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුක්තවූ පුද්ගල තෙමේ මව ජීවිතයෙන් තොරකරන්නේ නම් ඊට කරුණු නැත අවකාශ නැතැයි දැනගනී, යම්හෙයකින් පෘථග්ජන තෙමේ මව ජීවිතයෙන් තොරකරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගල තෙමේ පියා ජීවිතයෙන් තොරකරන්නේ නම් ඊට කරුණු නැත අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පෘථග්ජන තෙමේ පියා ජීවිතයෙන් තොරකරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගල තෙමේ රහතුන් වහන්සේ ජීවිතයෙන් තොරකරන්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි මේ දැනගනීද, යම්හෙයකින් පෘථග්ජන තෙමේ රහතුන් වහන්සේ ජීවිතයෙන් තොර කරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙක් තෙම (වධක චෙතනාවෙන්) දුෂ්ටවූ සිත් ඇත්තේ තථාගත ශරීරයෙහි ලේ සොලවන්නේනම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පෘථග්ජන තෙමේ (වධක චෙතනාවෙන්) දුෂ්ටවූයේ තථාගත ශරීරයෙහි ලේ සොලවන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇත්තේ යයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුත් පුද්ගලයෙක් තෙම සංඝයා භේදකරන්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පෘථග්ජන තෙමේ සංඝයා භේදකරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මාර්ග දෘෂ්ටියෙන් යුක්ත පුද්ගල තෙමේ (තථාගතයන් හැර) අනිකෙකු (තමාගේ) ශාස්තෘවරයායි කියන්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම් හෙයකින් පෘථග්ජන තෙමේ අනිකෙකු ශාස්තෘවරයායයි කියන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් එක් ලෝකධාතුවක අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයන් වහන්සේලා දෙනමක් නොපසු නොපෙරටුව (එකවර) උපදින්නාහු නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි මේ කාරණය දැනගනීද,
“යම්යෙහකින් එක් ලෝකධාතුවක එකම අර්හත්වූ සම්‍යක් සම්බුදුවරයන් වහන්සේ නමක් උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් එක ලෝකධාතුවක සක්විති රජවරු දෙදෙනෙක් නොපසු නොපෙරටුව (එකවිට) උපදින්නාහු නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් එක් ලෝකධාතුවක එක් සක්විති රජකෙනෙක් උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ වන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක් තෙම අර්හත්වූ සම්‍යක් සම්බුද්ධ වන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ සක්විති රජවන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක් තෙම සක්විතිරජ වන්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ ශක්‍රබව කරන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක් තෙම ශක්‍රබව කරන්නේ නම් ඊට කරුණු ඇත අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ මාර බව කරන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක්තෙම මාර බව කරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් ස්ත්‍රියක් තොමෝ බ්‍රහ්මබව කරන්නී නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් පුරුෂයෙක් තෙම බ්‍රහ්ම බව කරන්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
යම්හෙයකින් කාය දුශ්චරිතයාගේ ඉෂ්ටවූ කැමති වන්නාවූ, මනවඩන්නාවූ, විපාකයෙක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් කාය දුශ්චරිතයාගේ අනිෂ්ටවූ අකාන්තවූ අමනාපවූ විපාකයෙක් උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් වාග් දුශ්චරිතයාගේ ඉෂ්ටවූ, කැමැති වන්නාවූ, මනවඩන්නාවූ, විපාකයක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් වාග් දුශ්චරිතයාගේ අනිෂ්ටවූ නොකැමැත්තාවූ අමනාපවූ විපාකයක් උපදින්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මනො දුශ්චරිතයාගේ ඉෂ්ටවූ කැමැති වන්නාවූ, මනාපවූ, විපාකයක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනී. යම්හෙයකින් මනො දුශ්චරිතයාගේ අනිෂ්ටවූ නොකැමැත්තාවූ අමනාපවූ විපාකයක් උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් කාය සුචරිතයාගේ අනිෂ්ටවූ නො කැමැත්තාවූ, අමනාපවූ, විපාකයෙක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනී, යම්හෙයකින් කායසුචරිතයාගේ ඉෂ්ටවූ කැමැත්තාවූ මනාපවූ විපාකයෙක් උපදින්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
යම්හෙයකින් වාග් සුචරිතයාගේ අනිෂ්ටවූ නො කැමැත්තාවූ අමනාපවූ, විපාකයක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් වාග් සුචරිතයාගේ ඉෂ්ටවූ, කැමැත්තාවූ මනාපවූ, විපාකයක් උපදින්නේනම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මනො සුචරිතයාගේ අනිෂ්ටවූ නො කැමැත්තාවූ අමනාපවූ විපාකයෙක් උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනී. යම් හෙයකින් මනො සුචරිතයාගේ ඉෂ්ටවූ කැමැත්තාවූ මනාපවූ විපාකයෙක් උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් කාය දුශ්චරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරය බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියනලද ස්වර්ගලොකයෙහි උපදින්නේනම් ඊට කරුණුනැත, අවකාශ නැතැයි දැනගනී. යම් හෙයකින් කාය දුශ්චරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අපායය, දුගතියය, විනිපාතයයි කියන ලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
යම්හෙයකින් වාග් දුශ්චරිතයෙන් යුක්තවූයේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ගලොකයෙහි උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් වාග් දුශ්චරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මතු අපාය, දුගතිය, විනිපාතයයි කියන ලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් මනො දුශ්චරිතයෙන් යුක්තවූයේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ගලොකයෙහි උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් මනො දුශ්චරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අපායය, දුගතියය, විනිපාතයයි කියන ලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද,
“යම්හෙයකින් කාය සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අපායය, දුගතියය, විනිපාතයයි කියන ලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනී, යම් හෙයකින් කාය සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ගලොකයෙහි උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනී,
“යම්හෙයකින් වාග් සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මතු අපාය, දුගතිය, විනිපාතයයි කියන ලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද, යම්හෙයකින් වාග් සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් කය බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ගලොකයෙහි උපදින්නේ නම් ඊට හේතු ඇත, අවකාශ ඇතැයි දැනගනීද, යම්හෙයකින් මනො සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු අපායය, දුගතියය, විනිපාතයයි කියනලද නිරයෙහි උපදින්නේ නම් ඊට කරුණු නැත, අවකාශ නැතැයි දැනගනීද,
“යම්හෙයකින් මනො සුචරිතයෙන් යුත් තැනැත්තේ ඒ හේතුවෙන් ශරීරයාගේ බිඳීමෙන් මරණින් මතු සුගතියයි කියන ලද ස්වර්ගලොකයෙහි උපදින්නේ නම් ඊට කරුණු ඇත, අවකාශ ඇතැයි දැනගනීද, ආනන්දය, මෙපමණකින් වනාහි මහණතෙමේ කරුණු නොකරුණු දෙක්හි දක්ෂයෙකැයි කීමට සුදුසුවේ.”
මෙසේ වදාළකල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැලකෙළේය. “ස්වාමීනි, ආශ්චර්‍ය්‍යයකි. ස්වාමීනි, අද්භූතයකි. ස්වාමීනි, මේ ධර්මක්‍රමය කුමක්ද?
“ආනන්දය, එසේ නම් ඔබ මේ ධර්මක්‍රමය බහුධාතුක ධර්මක්‍රමයයිද (සිත්හිලා) දරාගනුව. ‘චතුපරිවට්ට’ ධර්මක්‍රමයයිද, දරව. ධම්මාදාස ධර්මක්‍රමයයිද (ධර්මය නමැති කණ්ණාඩිය) දරව. ‘අමතදුන්දුභි ධර්මක්‍රමය (අමෘතය නමැති බෙරය) යයිද දරව. ‘අනුත්තර සංග්‍රාම විජය ධර්මක්‍රමය (උසස්ම යුද්ධයෙන් ජය ගැනීම) යයි’ ද දරව.”
භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළසේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගේ දෙශනාවට සතුටුවිය.
පස්වෙනි බහුධාතුක සූත්‍රය නිමි. (2-5)