සංයුත්තනිකායො
මහා වර්ගය
7. ඉද්ධිපාද සංයුත්තය
1. චාපාල වර්ගය
10. චාපාලචෙතිය සූත්‍රය
මා විසින් මෙසේ අසනලදී. එක් සමයෙක්හි භාග්‍යවතුන් වහන්සේ විශාලානුවර මහවනයෙහි කූටාගාර ශාලාවෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යවතුන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ, පොරවා විශාලා නුවරට පිණ්ඩපාතය පිණිස වැඩිසේක. විශාලා නුවර පිඬු පිණිස හැසිර සවස් කාලයෙහි පිණ්ඩපාතයෙන් හැරී වැඩියේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන් ඇමතූසේක.
“ආනන්දය, නිසීදනය ගනුව, චාපාල චෙතිය යම් තැනකද දිවා විහරණය සඳහා එහි යන්නෙමි”යි-ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ “එසේය, ස්වාමීනියි” භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දී නිසීදනය ගෙන භාග්‍යවතුන් වහන්සේගේ පසුපසින් ගියේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ චාපාල චෙතිය යම් තැනකද එතැනට වැඩියහ. වැඩ, පැනවූ අස්නෙහි වැඩහුන් සේක. ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේද භාග්‍යවතුන් වහන්සේට වැඳ, එක්පසෙක හිඳගත්තේය. එක්පසෙක හිඳගත් ආයුෂ්මත් ආනන්දස්ථවිරයන්ට භාග්‍යවතුන්වහන්සේ මෙසේ වදාළසේක.
“ආනන්දය, විශාලාව සිත්කළුය, උදෙන චෛත්‍යය සිත්කළුය, ගොතමක චෛත්‍යය සිත්කළුය, සත්තම්බ චෛත්‍යය සිත්කළුය, බහුපුත්ත චෛත්‍යය සිත්කළුය. සාරන්දද චෛත්‍යය සිත්කළුය, චාපාල චෛත්‍යය සිත්කළුය.
“ආනන්දය යම් කිසිවෙකු විසින් මේ සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුද බහුලකරන ලද්දාහුද, යානාවක් මෙන් කරන ලද්දාහුද, සිටින තැනක් මෙන් කරනලද්දාහුද පුරුදුකරන ලද්දාහුද මනාකොට පටන්ගන්නා ලද්දාහුද හෙතෙම කැමැත්තේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේය.
“ආනන්දය, තථාගතයන් විසින් වනාහි සතර ඉද්ධිපාදයෝ වඩන ලද්දාහුය. නැවත නැවත වඩන ලද්දාහුය, යානාවක් මෙන් කරන ලද්දාහුය. සිටින තැනක් මෙන් කරන ලද්දාහුය, අධිෂ්ඨාන කරන ලද්දාහුය, පුරුදුකරන ලද්දාහුය. මනාකොට පටන්ගන්නා ලද්දාහුය. ආනන්දය, තථාගතයන් වහන්සේ කැමති වන්නේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේයයි” වදාළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වනාහි ඖදාරික නිමිති කරන කල්හි ඖදාරික ඇඟවීම් කරනු ලබන කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ තේරුම් ගැනීමට අසමත් වීය.
“බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස, ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස හිත පිණිස සැප පිණිස ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් සිටිනසේක්වා!’ සුගතයන් වහන්ස, කල්පයක් සිටිනසේක්වා!’ අනික් පෘථග්ජනයෙකු මෙන් මාරයා විසින් ආවේසවූ සිත් ඇත්තේ භාග්‍යවතුන්වහන්සේට යාඥා නොකෙළේය.
භාග්‍යවතුන් වහන්සේ විසින් දෙවනුවත් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය වදාළසේක.
“ආනන්දය, විශාලානුවර සිත්කළුය, උදෙනී චෛත්‍යය සිත්කළුය. ගොතමක චෛත්‍යය සිත්කළුය. සත්තම්බි චෛත්‍යය සිත්කළුය. බහුපුත්ත චෛත්‍යය සිත්කළුය. සාරන්දද චෛත්‍යය සිත්කළුය. චාපාල චෛත්‍යය සිත්කළුය.
“ආනන්දය, යම්කිසිවෙකු විසින් මේ සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුද බහුලකරන ලද්දාහුද යානාවක් මෙන් කරන ලද්දාහුද, සිටින තැනක්මෙන් කරනලද්දාහුද පුරුදුකරන ලද්දාහුද මනාකොට පටන්ගන්නා ලද්දාහුද හෙතෙම කැමැති වන්නේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව හෝ වැඩිව හෝ සිටින්නේය.
“ආනන්දය, තථාගතයන් විසින් වනාහි සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුය. නැවත නැවත වඩනලද්දාහුය. යානාවක් මෙන් කරවනලද්දාහුය. සිටින තැනක් මෙන් කරන ලද්දාහුය. අධිෂ්ඨාන කරනලද්දාහුය. පුරුදුකරන ලද්දාහුය. මනාකොට පටන්ගන්නා ලද්දාහුය. ආනන්දය, තථාගතයන් වහන්සේ කැමතිවන්නේ නම් ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේයයි” වදාළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ වනාහි ඖදාරික නිමිති කරන කල්හි ඖදාරික ඇඟවීම් කරනු ලබන කල්හි ආයුෂ්මත් ආනන්ද ස්ථවිරතෙමේ තේරුම් ගැනීමට අසමත් විය.
“බොහෝ ජනයාට හිත පිණිස, බොහෝ ජනයාට සැප පිණිස ලොකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස, හිත පිණිස, සැප පිණිස, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් සිටින සේක්වා! සුගතයන් වහන්ස කල්පයක් සිටිනසේක්වා!’ අනික් පෘථග්ජනයෙකු මෙන් මාරයා විසින් ආවේසවූ සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකෙළේය.
තුන්වෙනුවත් භාග්‍යවතුන් වහන්සේ විසින් ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයන්ට මෙය වදාළසේක
“ආනන්දය, විසාලා නුවර සිත්කළුය. උදේනි චෛත්‍යය සිත්කළුය. ගොතමක චෛත්‍යය සිත්කළුය. සත්තම්බ චෛත්‍යය සිත්කළුය. බහුපුත්ත චෛත්‍යය සිත්කළුය. සාරන්දද චෛත්‍යය සිත්කළුය. චාපාල චෛත්‍යය සිත්කළුය. ආනන්දය, යම්කිසිවකු විසින් සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුද නැවත නැවත වඩනලද්දාහුද යානාවක් මෙන් කරන ලද්දාහුද සිටින තැනක් මෙන් කරනලද්දාහුද අධිෂ්ඨාන කරන ලද්දාහුද පුරුදු කරන ලද්දාහුද මනාකොට ආරම්භ කරන ලද්දාහුද ආනන්දය, හෙතෙම කැමති වන්නේනම් කල්පයක් හෝ කල්පයට අඩුව වැඩිව හෝ සිටින්නේය.
“ආනන්දය, තථාගතයන් විසින් වනාහි සතර ඉද්ධිපාදයෝ වඩනලද්දාහුය, නැවත නැවත වඩනලද්දාහුය, යානාවක් මෙන් කරන ලද්දාහුය, සිටීමට තැනක් මෙන් කරනලද්දාහුය අදිෂ්ඨාන කරන ලද්දාහුය. පුරුදු කරන ලද්දාහුය. මනාකොට ආරම්භ කරන ලද්දාහුය. ආනන්දය, තථාගතයන් කැමතිවන්නේනම්, කල්පයක් හෝ කල්පයකට අඩුව වැඩිව හෝ සිටින්නේය” යනුයි. භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ ඖදාරික නිමිති කරන කල්හි ඖදාරික ඇඟවීම කරනු ලබන කල්හි ආයුෂ්මත් ආනන්දතෙමේ තේරුම්ගැනීමට අසමත් වීය.
“බොහෝ ජනයාට හිත පිණිස බොහෝ ජනයාට සැප පිණිස ලෝකයාට අනුකම්පා පිණිස දෙව් මිනිසුන්ගේ අර්ථය පිණිස සැප පිණිස ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, කල්පයක් සිටින සේක්වා යයි’ අනික් පෘථග්ජනයකුමෙන් මාරයා විසින් ආවේසවූ සිත් ඇත්තේ භාග්‍යවතුන් වහන්සේට යාඥා නොකෙළේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් ආනන්ද තෙරුන්ට ඇමතූසේක. “ආනන්දය, දැන් නුඹ යව, දැන් ඊට කල් දනුව.” “ස්වාමීනි, එසේ යයි” ආයුෂ්මත් ආනන්දතෙමේ භාග්‍යවතුන් වහන්සේට උත්තර දී ආසනයෙන් නැගිට භාග්‍යවතුන් වහන්සේට වැඳ ගෞරව කොට නුදුරු තැනෙක්හි වූ එක්තරා ගසක් මුල හුන්නේය.
ඉක්බිති පාපී මාරතෙමේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ භාග්‍යවතුන් වහන්සේට මෙසේ කීය. “ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවන් පාන සේක්වා, සුගතයන් වහන්ස, පිරිනිවන් පාන සේක්වා. ස්වාමීනි, දැන් පිරිනිවන් පාන කාලයයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම්තාක් මාගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්ත නොවූවාහුද, වීනීත නොවූවාහුද විසාර නොවූවාදහුද නිවනට නොපැමිණියාහුද බහුශ්‍රැත නොවූවාහුද ධර්මධර නොවූවාහුද ධර්මානුධර්මයෙහි නොපිළිපන්නාහුද සුදුසු ප්‍රතිපදාවට පිළිපන්නෝ නොවූවාහුද ධර්මයට අනුව නොහැසුරුණ හුද ස්වකීයාචාර්‍ය්‍යවාද ඉගෙන නොකියත්ද, දෙශනා නොකරත්ද, නොපණවත්ද, විවරණය නොකරද්ද, ප්‍රකට නොකෙරෙත්ද බෙදා නොදක්වත්ද, උපන්නාවූ පරවාද හේතු සහිතව මනාකොට ගෙන නිග්‍රහ කොට නෛර්‍ය්‍යානික කොට ධර්මය දේශනා නොකරත්ද, පාපිය, මම ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි”යි යන වචනය කියන ලදී.
“ස්වාමීනි, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක භික්ෂූහු ව්‍යක්තවූහ. විනීතවූහ. විශාරදවූහ. නිවනට පැමිණියාහුය. බහුශ්‍රැතවූවාහුය ධර්මධරවූවාහුය. ආර්‍ය්‍යධර්මයට අනුව පිළිපන්නාහුය. සුදුසු පිළිවෙතට පිළිපන්නාහුය. ධර්මයට අනුකූල පැවතුම් ඇත්තාහුය. ස්වකීය ආචාර්‍ය්‍ය වාද ඉගෙන කියන්නාහුය. දේශනා කරන්නාහුය. පණවන්නාහුය. තබන්නාහුය. විවරණය කරන්නාහුය. බෙදන්නාහුය ප්‍රකට කරන්නාහුය. උපන්පරවාද හේතු සහිතව මනාකොට නිග්‍රහකොට ධර්මය නෛර්‍ය්‍යාණිකකොට දේශනා කරන්නාහුය. ස්වාමීනි, භාග්‍යවතුන්වහන්ස, දැන් පිරිනිවන් පානාසේක්වා. සුගතයන් වහන්ස, පිරිනිවන් පානා සේක්වා. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේට දැන් පිරිනිවන්පානා කාලයයි.
“ස්වාමීනි, භාග්‍යවතුන්වහන්සේ විසින් ‘යම්තාක් මාගේ ශ්‍රාවිකා භික්ෂූණීහු ව්‍යක්ත නොවෙත්ද, විනීත නොවෙත්ද, විශාරද නොවෙත්ද, නිවනට නොපැමිණියාහුද, බහුශ්‍රැත නොවූවාහුද, ධර්මධර නොවූවාහුද, ධර්මානුධර්මයෙහි නොපිළිපන්නාවූවාහුද, සුදුසු ප්‍රතිපදාවට පිළිපන්නෝ නොවූවාහුද ධර්මයට අනුව නොහැසුරුණාහුද, ස්වකීයාචාර්‍ය්‍යවාද ඉගෙන නොකියත්ද, දෙශනා නොකරත්ද, නොපණවත්ද, විවරණය නොකරත්ද, ප්‍රකට නොකරත්ද, බෙදා නොදක්වත්ද, උපන්නාවූ පරවාද හේතු සහිතව මනාකොට
ගෙන නිග්‍රහකොට නෛර්‍ය්‍යානික කොට ධර්මය දේශනා නොකරත්ද පාපිය, මම ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි’ යි යන වචනය කියන ලදී.
“ස්වාමීනි, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවික භික්ෂූණීහු ව්‍යක්තවූහ. විනීතවූහ. විශාරදවූහ. නිවනට පැමිණියාහුය. බහුශ්‍රැත වූවාහුය. ධර්මධර වූවාහුය. ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය. ධර්මයට අනුව පිළිපන්නාහුය. ධර්මයට අනුකූල පැවතුම් ඇත්තාහුය. ස්වකීයාචාර්‍ය්‍ය වාද ඉගෙන කියත්. දේශනා කරත්. පනවත්. තබත්. විවරණය කරත්. විහරණය කරත්. ප්‍රකට කරත්. උපන් පරවාද හේතු සහිතව මනාකොට නිග්‍රහකොට නෛර්‍ය්‍යාණිකකොට ධර්මය දේශනා කරත්.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන්පානා සේක්වා! දැන් පිරිනිවීමට කාලයයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම්තාක් මාගේ ශ්‍රාවක උපාසකයෝ ව්‍යක්ත නොවෙත්ද, ‘යම්තාක් මාගේ ශ්‍රාවක උපාසකයෝ ව්‍යක්ත නොවූවාහුද, විනීත නොවූවාහුද විශාරද නොවූවාහුද නිවනට නොපැමිණියාහුද බහුශ්‍රැත නොවූවාහුද ධර්මධර නොවූවාහුද ධර්මානුධර්මයෙහි නොපිළිපන්නාහුද සුදුසු ප්‍රතිපදාවට පිළිපන්නෝ නොවූවාහුද ධර්මයට අනුව නොහැසුරුණාහුද, ස්වකීයාචාර්‍ය්‍යවාද ඉගෙන නොකියත්ද, දෙශනා නොකරත්ද, නොපණවත්ද, විවරණය නොකරත්ද, ප්‍රකට නොකරත්ද, බෙදා නොදක්වත්ද, උපන්නාවූ පරවාද හේතු සහිතව මනාකොට ගෙන නිග්‍රහ කොට නෛර්‍ය්‍යාණික කොට ධර්මය දේශනා නොකරත්ද, පාපිය, මම ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි’යි යන වචනය කියන ලදී.
“ස්වාමීනි, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවක උපාසකයෝ ව්‍යක්තවූහ. විනීතවූහ. විශාරදවූහ නිවනට පැමිණියාහුය. බහුශ්‍රැත වූවාහුය. ධර්මධර වූවාහුය. ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය. ධර්මයට අනුව පිළිපන්නාහුය. ධර්මයට අනුකූල පැවැතුම් ඇත්තාහුය. ස්වකීයාචාර්‍ය්‍ය වාද ඉගෙන කියත්. දේශනා කරත්. පනවත්. තබත්. විවරණය කරත්. විහරණය කරත්. ප්‍රකට කරත්. උපන් පරවාද හේතු සහිතව මනාකොට නිග්‍රහකොට නෛර්‍ය්‍යාණික කොට ධර්මය දේශනා කරත්.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන්පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන්පානා සේක්වා! දැන් පිරිනිවීමට කාලය වෙයි.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් යම්තාක් මාගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්ත නොවෙත්ද, විනීත නොවෙත්ද, විශාරද නොවෙත්ද, නිවනට නොපැමිණියාහුද, බහුශ්‍රැත නොවූවාහුද, ධර්මධර නොවූවාහුද, ආර්‍ය්‍යධර්මයට අනුව නොපිළිපන්නාහුද, සුදුසු පිළිවෙතට නොපිළිපන්නාහුද ධර්මයට අනුව පැවතුම් නැත්තාහුද ස්වකීය ආචාර්‍ය්‍ය වාද ඉගෙන නොකියත්ද, දේශනා නොකරත්ද, නොපනවත්ද, විවරණය නොකරත්ද, ප්‍රකාශ නොකරත්ද, නොබෙදත්ද, ප්‍රකට නොකරත්ද, උපන්නාවූ පරවාද හේතු සහිතව මනාකොට නිග්‍රහකොට නෛර්‍ය්‍යාණික කොට ධර්මය දේශනා නොකෙරෙත්ද, පාපිය. ඒතාක් මම පිරිනිවන් නොපාන්නෙමි’ යන වචනය කියන ලදී.
“ස්වාමීනි, දැන් වනාහි භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවිකා උපාසිකාවෝ ව්‍යක්තවූහ. විනීතවූහ. විශාරදවූහ. නිවනට පැමිණියාහුය. බහුශ්‍රැත වූවාහුය. ධර්මධරවූවාහුය ආර්‍ය්‍ය ධර්මයට අනුව පිළිපන්නාහුය. ධර්මයට අනුව පිළිපන්නාහුය. ධර්මයට අනුකූල පැවැතුම් ඇත්තාහුය. ස්වකීයාචාර්‍ය්‍ය වාද ඉගෙන කියත්. දේශනා කරත්. පනවත්. තබත්. විවරණය කරත්. විහරණය කරත්. ප්‍රකට කරත් උපන් පරවාද හේතු සහිතව මනාකොට නිග්‍රහකොට නෛර්‍ය්‍යාණික කොට ධර්මය දේශනා කරත්.
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්සේ පිරිනිවන් පානා සේක්වා! දැන් පිරිනිවීමට කාලය වෙයි. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ විසින් ‘යම්තාක් මාගේ ශාසනය ධ්‍යානාදි වශයෙන්ද සමාධියට නොපැමිණෙන්නේද අභිඥා වශයෙන් වැඩීමට නොපැමිණියේද හැම දිශාවන්හි නොපැතුරුණේද බොහෝ දෙනා විසින් නොදැනගන්නා ලද්දේද, විශාල බවට නොපැමිණියේද දෙවි මිනිසුන් විසින් ප්‍රකාශ නොකරන ලද්දේද, පාපිය, මම ඒතාක් පිරිනිවන් නොපාන්නෙමි’ යි කියන ලදී.
“ස්වාමීනි, දැන් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය ධ්‍යානාදි වශයෙන් සමෘද්ධියට පැමිණියේය. වැඩීමට පැමිණියේය. අභිඥා වශයෙන් හැම දිශාවන්හි පැතුරුණේය. බොහෝ දෙනා විසින් දැනගන්නා ලද්දේය. විශාල බවට පැමිණියේය. දෙව් මිනිසුන් විසින් ප්‍රකාශ කරන ලදී, ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස දැන් පිරිනිවන් පානා සේක්වා! සුගතයන් වහන්ස, පිරිනිවන්පානා සේක්වා! ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, දැන් පිරිනිවීමට කාලයයි.”
මෙසේ කීකල්හි භාග්‍යවතුන් වහන්සේ පාපී මාරයාට මෙසේ වදාළසේක. “පාපීය, තෝ වෙහෙස නොවෙව. නොබෝ කලකින් තථාගතයන්ගේ පිරිනිවීම වන්නේය. මෙයින් තුන් මසක්හුගේ ඇවෑමෙන් තථාගත තෙමේ පිරිනිවන් පාන්නේයයි” වදාළේය.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ චාපාල චෛත්‍යයෙහි සිහි නුවණින් යුක්තව ආයුසංස්කාරය අත්හළේය. භාග්‍යවතුන් වහන්සේ විසින් ආයු සංස්කාරය අත්හළ කල්හි මහා පොළොව කම්පාවිය. භයානකවූ ලොමු ඩැහැගන්නාවූ අහස ගිගුරුම් වූහ.
එකල්හි භාග්‍යවතුන් වහන්සේ මේ කාරණය දැන ඒ වේලාවෙහි මේ උදානය නිකුත් කළ සේක.
“බුද්ධ මුනි තෙමේ භවය ඇති කරන හෙයින් භව සංඛාර යන නම ඇත්තාවූද, තුල අතුලයයි කියන ලද්දාවූද, ලෞකික කර්ම අත්හළේය. යුද්ධ භූමියෙහි මහා යොධයෙක් මෙන් ආත්මභාවය උපදවන ක්ලෙශ කවචය (යුද්ධ ඇඳුම) අධ්‍යාත්මයෙහි ඇළුණේ සමාධියෙන් යුක්තවූයේ බිඳුලුවේය.”
චාපාලවග්ගො පඨමො.