ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

33. උම්මා පුප්ඵිය වග්ග

9. පුප්ඵ ඡත්තිය ථෙරාපදානය

’’තාදී ගුණ ඇති, ලෝක ජ්‍යෙෂ්ඨවූ, සත්ත්‍වයන් නිවනට පමුණුවන්නාවූ, සත්‍යය දේශනා කරන්නාවූ, භාග්‍යවත්වූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජුන්හට දියෙහි හටගත් මනරම් නෙලුම් මල් ගෙනවුත් පුෂප ඡත්‍රයක් (මල් කුඩයක්) කොට පිදීමි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ත්‍රිවිධ ලෝකයට අවබෝධ කළ ශාස්තෘවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජ තෙමේ භික්‍ෂු සංඝයා මැද වැඩ සිටියේ මෙම ගාථාවෙන් වදාළ සේක. (කෙසේදයත්)

’’යමෙක් මාගේ සිත පහදවා මල්සැතක් (කූඩයක්) කරවීද, හෙතෙම එම සිත පැහැදවීම කරණකොටගෙන දුගතියක නොයයි (කියායි.)

’’ලෝක නායකවූ සිද්‍ධාර්ත්‍ථ බුදුරජ තෙමේ මෙය වදාරා, පිරිස මෙහෙයවා, අහසට නැංගාහ.

’’නරදෙවිවූ බුදුරජුන් නැගී ගිය කල්හි සේසතද නැගී ගියේය. බුදුරජුන්ගේ ඉදිරියෙහි උතුම් ඡත්‍රයද යයි.

’’මින් සිව් අනූවන කපෙහිවූ යම් ඡත්‍රයක් පිදූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප ඡත්‍ර (මල් කුඩ) පූජාවෙහි මේ විපාකයයි.

’’සූසැත්තෑවන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති ජලසිඛ නම් අට සක්විති රජකෙනෙක් වූහ.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුප්ඵ ඡත්තිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පුප්ඵච්ඡත්තියත්ථෙරස්සාපදානං නවමං.