ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
33. උම්මා පුප්ඵිය වග්ග
8. සුමනා වෙලිය ථෙරාපදානය
’’තාදී ගුණ ඇති, ලෝක ජ්‍යෙෂ්ඨවූ වෙස්සභූ භාග්‍යවතුන් වහන්සේට ඒ සියලු ජනයෝ එක්ව මහා පූජාවක් කෙරෙත්.
’’මම එකල්හි දෑසමන් මල්වලින් මල් දමක්ද, සුණු පිඩක්ද කොට බුද්‍ධාසනය ඉදිරියෙහි නගා තැබීමි.
’’සියලු දෙන එක්ව උතුම් මල් දෙස බලත්. තාදී ගුණ ඇති බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේට කවරෙකු විසින් මේ මල් පුදන ලදදැයි (අසත්.)
’’මම එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන නිර්‍මාණරතී දිව්‍ය ලෝකයෙහි උපනිමි. පෙර තමා විසින් කරන ලද පුණ්‍ය කර්‍මය (පිළිබඳ විපාකය) අනුභව කෙළෙමි.
’’දිව්‍යවූ හෝ මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, (ඒ හැම තැන්හිම) සියලු දෙනාම ප්‍රිය වෙමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
’’සන්හුන් ඉඳුරන් ඇති තවුසනට කයින් හෝ, වචනයෙන් හෝ, යලි සිතින් හෝ මා විසින් කරණ ලද නින්දාවක් ගැන නොදනිමි.
’’මම එම සුචරිතය කරණකොටගෙනද චිත්ත ප්‍රණිධීන් (ප්‍රාර්ත්‍ථනා) කරණකොටගෙනද, සියළු දෙනා විසින් පුදන ලද්දෙක් වෙමි. (තවුසනට) ආක්‍රොශ නොකිරීමෙහි මේ විපාකයයි.
[’’මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.]
’’මින් එකොළොස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සහස්සාර නම් සක්විති රජෙක් වීමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුමනා වෙලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සුමනාවෙළියත්ථෙරස්සාපදානං අට්ඨමං.