ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
33. උම්මා පුප්ඵිය වග්ග
7. නිග්ගුණ්ඩි පුප්ඵිය ථෙරාපදානය
’’යම් කලෙක්හි ආයු පිරිහී යෑමෙන් දෙවියෙක් දෙව්ලොවින් චුතවූයේද, (එකල්හි) අනුමෝදනය කරන්නාවූ දෙවියන්ගේ ත්‍රිවිධ ශබ්ද කෙනෙක් පිටවී යෙත් (කෙසේදයත්?)
’’පින්වත, මින් චුතව මනුෂ්‍යයන්ගේ සහභාවයවූ සුගතියට යනු මැනව. මිනිස්වූයේ, සසුනෙහි උතුම්වූ ශ්‍රද්‍ධාව ලබව.
’’ඒ ශ්‍රද්‍ධා තොමෝ බැසගන්නා ලදී. එහි හටගත් මුල් ඇත්තී, මැනවින් පිහිටන ලද්දී, වියයුතු වන්නීය. මනාකොට අවබෝධ කරණ ලද ධර්‍මයෙහි දිවි ඇති තාක් නොපසුබටවූ, කයින්ද, වචනයෙන්ද, සිතින්ද, බොහෝ කුසල්කොට නිදුක්වූ (ක්ලේශොෂධී රහිත බැවින්) පිරිසිදුවූ, (අත්බැව් සම්පත් හා භවභෝග සම්‍යක් උපදනා) ඔෂධිකවූ ඒ බොහෝ කුසල්ද කොට පරිත්‍යාගයෙන් යුතුව අනික් මිනිසුන්ද බ්‍රහ්මචරිය නම්වූ සද්‍ධර්‍මයෙහි පිහිටවනු මැනව, කියායි.
’’නුවණැති දෙවිවරු (එසේ) චුතවන්නාවූ දෙවියනට දෙව්පුරයට නැවත එනු මැනවයි කියා මෙම අනුකම්පාවෙනුදු අනුමෝදනය (අනුව සතුටු කිරීම) කෙරෙත්.
’’දිව්‍ය සමූහයා රැස්වූ කල්හි මට සංවේගයක් ඇතිවිය. (කෙසේදයත්?) මම මින් චුතව කිනම් යෝනියකට උත්පත්ති වශයෙන් යන්නෙම්ද කියායි.
’’වඩනලද ඉඳුරන් ඇති ශ්‍රමණයෙක් තෙම මාගේ දුක දැන, මා ඒ දුකින් ගොඩගනු කැමැත්තේ, මාගේ සමීපයට පැමිණියේය. එකල්හි ’’සුමන’’ නම්වූ ඒ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක තෙම අර්ත්‍ථයෙන් හා ධර්‍මයෙන් අනුශාසනය කොට මා සංවේගයට පත් කෙළේය.
’’ මම උන්වහන්සේගේ වචනය අසා බුදුරජුන් කෙරෙහි සිත පැහැදවීමි. ඒ ප්‍රාඥයන් වහන්සේට අභිවාදනය කොට මම එහි කළුරිය කෙළේ වෙමි.
’’එකී කුශල මූලයෙන් මෙහෙයන ලද මම එම දෙව්ලොවෙහි උපදින්නෙම් (ඉක්බිති) මව් කුසෙහි වසන්නේ නැවතත් මව් කුසින් දරයි.
’’මම එම අත්බැවින් චුතව තව්තිසා දෙව්ලොව උපනිමි. මම එකල්හි මේ අතරතුර කාලයෙහි දොම්නසක් නොදනිමි.
’’තව්තිසා දෙව්ලොවින් චුතව මව් කුසක උපනිමි. මම මව් කුසින් බිහිව (ලදරු බැවින්) කළු සුදු (හෙවත් හොඳ නරක කුමක්දැයි) නොදනී.
’’මම උපතින් සත් ඇවිරිදි වයස් ඇත්තේ ආරාමයට පිවිසියෙමි. තාදී ගුණ ඇති, භාග්‍යවත්වූ ගෞතම කාශ්‍යප පුත්‍රයන් වහන්සේගේ බොහෝ දෙනා විසින් මැනවයි පිළිගත් සසුනයයි කියන ලද එම විසිතුරු ත්‍රිපිටක ධර්‍මයෙහි (දක්‍ෂව) බුදුරජුන්ගේ සසුන කරන්නාවූ භික්‍ෂූන් දුටිමි.
’’සැවැත් නම් නුවරෙක් විය. කොසොල් රජ තෙමේ එහි වී. (එම කොසොල් රජ තෙම) ඇතුන් යෙදු රියකින් උතුම් බෝධිය වෙත එළඹියේය.
’’මම එම රජුගේ ඇතා දැක පූර්‍ව කර්‍මය සිහි කෙළෙමි. මමද ඇඳිලි බැඳ එම සභාවට ගියෙමි.
’’උපතින් සත් ඇවිරිදිවූයේම, අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. (එකල) සම්‍යක් බුදුරජුන්හට උවටැන් කෙළේද හේ (මේ) ආනන්‍ද නම් ශ්‍රාවක තෙමේයි.
’’සිටි පියවරෙහිම සිට පද සැටදහසක් වුවද බුදුරජුන් වදාළ නියාවෙන්ම දැන ගැනීමෙහි සමත් බැවින් ගතිමත්වූද, බුද්‍ධ වචනය ඉගෙන ගන්නා වීර්‍ය්‍යයද, සඣායනය කිරීමෙහි වීර්‍ය්‍යයද, සිත්හි ලා දැරීමෙහි වීර්‍ය්‍යයද, ශාස්තෲන් වහන්සේට උවටැන් කිරීමෙහි වීර්‍ය්‍යයද, අන් හැම දෙනටම වඩා අධිකව ඇති බැවින් ධෘතිමත්වූද, එසේම අන් හැම දෙනාටම වඩා බුදුවදන් සිත්හි ලා දැරීමෙහි සිහි ඇති බැවින් ගතිමත්වූද, (මෙම සසුනෙහි භාණ්ඩාගාරික පර්‍ය්‍යාප්තියෙහිම සිට බුදුවදන් උගත් බැවින් බහුශ්‍රුතවූද, (එම ආනන්‍ද ස්ථවිර තෙම) රජුගේ සිත පහදවමින් මහත් ආලෝකයක් නික්මවීය.
’’මම උන්වහන්සේගේ ධර්‍මය අසා පූර්‍ව කර්‍මය සිහිපත් කෙළෙමි. එහි හුන්නේම රහත් බවටද පැමිණියෙමි.
’’ඉක්බිති සිවුර එකස්කොට, හිසෙහි ඇඳිලි බැඳ, සම්බුදු රජුන් වැඳ, මෙම වචනය කීමි. (කේසදයත්)
’’මම ශාස්තෘවූ, විපදෝත්තමවූ, පදුමුත්තර බුදුරජුන්ගේ සිහසුනෙහි (බුද්‍ධාසනයෙහි) නික මල් ගෙන තැබීමි.
’’විපදෝත්තමයන් වහන්ස, ලොක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, එම (කුශල) කර්‍මය කරණකොටගෙන ජය පරාජය දෙක හැර නිශ්චල ස්ථානයවූ නිවණට (රහත්බවට) පැමිණියේ වෙමි.
’’පස් විසි දහස්වන කපෙහි මනුජාධිපතිවූ අබ්බුද නිරබ්බුද නම්වූ අට සක්විති රජ කෙනෙක් වූහ.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිග්ගුණ්ඩි පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
නිග්ගුණ්ඩිපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.