ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

34. ගන්‍ධධූපිය වග්ග

1. ගන්‍ධධූපිය ථෙරාපදානය

’’මම සිදුහත් බුදුරජුන්හට සුවඳ දුමක් දුනිමි. සමන් මල්වලින් වසන ලද එය බුදුරජුන්හට සුදුසුවූවක් වෙයි.

’’මෙසේ කසුන් ඇගෑවක් මෙන් බබලන්නාවූ, නිළුපුල් මලක් මෙන් දිලිසෙන්නාවූ, ඇවිලෙන ගින්නක් වැනිවූ,

’’උතුම්වූ ශ්‍රේෂ්ඨ ව්‍යාඝ්‍රයෙකු වැනි, විශිෂ්ඨ ජන්ම ඇති, (ජාතිමත්) කේශර සිංහයෙකු මෙන්වූ, ශ්‍රමණයන්ට අග්‍රවූ, භික්‍ෂු සංඝයා පිරිවරාගෙන හුන්නාවූ (එම සිදුහත් බුදුරජුන්)

’’දැක සිත පහදවා ඇඳිලි බැඳ ශාස්තෲන් වහන්සේගේ සිරිපා වැඳ, උත්තර දිශාභිමුඛව (උතුරු දෙසට හැරී) ගියෙමි.

’’සිව් අනූවන කපෙහි වූ එකල්හි යම් සුවඳ දුමක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුවඳ දුම් පිදීමෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධධූපිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ගන්ධධූපියත්ථෙරස්සාපදානං පඨමං.