ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

34. ගන්‍ධධූපිය වග්ග

2. උදක පූජක ථෙරාපදානය

’’දිලිසෙන ගින්න මෙන්වූ, ඇවිලගත් අග්නිය වැනි, අහසෙහි වඩින්නාවූ, රන්වන්වූ සම්බුදුරජුන් දිටිමි.

’’(දැක) මම අතින් දිය ගෙන අහසෙහි දැමීමි. මහාවීරවූ, කාරුණිකවූ සර්‍වඥ ඎෂි තෙමේ (එය) පිළිගත් සේක.

’’අහසෙහි වැඩ සිටියාවූ පදුමුත්තර නම් ශාස්තෘ තෙමේ මාගේ අදහස් දැන මෙම ගාථාව වදාළ සේක.

’’මේ ජලදානය කරණකොටගෙනද, (බුදුරජුන් කෙරෙහි) ප්‍රීතිය ඉපදවීම කරණකොටගෙනද කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නූපදින්නේය කියායි.

’’විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, එම කර්‍මය කරණකොටගෙන ජය පරාජය දෙකම හැර අචල ස්ථානයවූ (නිවනට) පැමිණියේ වෙමි.

’’හදාස් පන්සියවෙනු කපෙහි සිව් සයුර හා සිව් මහ දිවයින් කෙළවරකොට ඇති පෘථිවියෙහි අධිපතිවූ, ජනාධිපතිවූ, සහස්සරාජ නම්වූ සිව් සක්විති රජ කෙනෙක් වූහ.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උදකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උදකපූජකත්ථෙරස්සාපදානං දුතියං.