ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

34. ගන්‍ධධූපිය වග්ග

10. උක්ඛිත්තපදුමිය ථෙරාපදානය

’’මම හංසවතී නගරයෙහි මල් කරුවෙක් වීමි. එකල්හි පියුම් විලකට බැස පියුම් නෙලමි.

’’සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර නම් සර්‍වඥතෙමේ තාදී ගුණ ඇති, සන්හුන් සිත් ඇති, ශුද්‍ධවූ ෂඩභිඥා ඇති, සියක් දහසක් ක්‍ෂීණාශ්‍රවයන් වහන්සේ සමග මාගේ අභිවෘද්ධිය ගැනම සිතා මා සමීපයට පැමිණි සේක.

’’මම දෙවියනට දෙවිවූ, සියල්ල තෙමේම අවබෝධ කළාවූ ලෝකනායකවූ බුදුරජුන් දැක එකල්හි පියුම් නටුයෙන් කඩා අහසෙහි දැමීමි. (කෙසේ සිතාද යත්?) ’’වීරයන් වහන්ස, ඉදින් ඔබ ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සර්‍වඥ වෙහි නම් පියුම තෙමේම ගොස් ඔබ වහන්සේගේ මස්තකයෙහි දරත්වා’’ යි (කියායි.)

’’ලොක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රෙෂ්ඨවූ, මහාවීරවූ බුදුරජතෙමේ (එසේ වීමට) ඉටීය. බුද්ධානුභාවයෙන් එම පද්මයෝ උන්වහන්සේගේ මුදුනෙහි දැරූහ.

’’මම මැනවින් කරණ ලද එම කර්‍මය හා චිත්ත ප්‍රණිධීන් කරණකොට ගෙන මිනිස් සිරුර හැර තව්තිසා දෙව්ලොවට ගියෙමි.

’’එම දෙව්ලොවෙහි මට කරන ලද විමානය ’’සතපත්ත’’යයි කියනු ලැබේ. (එය) සැට යොදුන් උසය. තිස් යොදුන් පුළුලය.

’’ශක්‍ර දේවේන්‍ද්‍රව දහස් වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි. මම පන් සැත්තෑ වරක් සකිවිති රජ වීමි.

’’කරවන ලද මහත්වූ ප්‍රදේශ රාජ්‍යය (මෙතෙකැයි) ගණන් වශයෙන් ගිනිය නොහැකිය. පෙර තමා විසින් මැනවින් කරන ලද ස්වකීය කර්‍මයෙහි (විපාකය) අනුභව කරමි.

’’එම එක පියුම පිදීමෙන් එහි ආනිසංසය ලෙස සම්පත් අනුභවකොට මම ගෞතම බුදුරජාණන් වහන්සේගේ ධර්‍මය අවබෝධ කෙළෙමි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියලු භවයෝ නසන ලදහ. බැඳුම් සිඳි ඇතකු මෙන් ආශ්‍රව රහිතව වෙසෙමි.

’’මින් ලක්‍ෂයක්වන කපෙහි යම් පුෂ්ප පද්ම පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. එක පියුමක් පිදීමෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උක්ඛිත්තපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උක්ඛිත්තපදුමියත්ථෙරස්සාපදානං දසමං.

ගන්ධොදකවග්ගො චතුතිංසතිමො.