ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

35. එකපදුමිය වග්ග

1. එකපදුමිය ථෙරාපදානය

’’සියළු ධර්‍මයන්ගේ පරතෙරට ගිය පදුමුත්තර සර්‍වඥ තෙමේ භවයාගේ අභාව නම්වූ නිවන පවසමින් බොහෝ ජනයා සසර සයුරින් එතර කළ සේක.

’’එකල්හි මම පක්‍ෂීන්හට උත්තමවූ හංසරාජයෙක් වෙමි. ස්වයංජාත විලකට බැස හංස ක්‍රීඩා කරමි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, පස් මරුන් දිනූ, පදුමුත්තර බුදුරජතෙම එකෙණෙහි එම සවයංජාත විල මතුයෙහි (අහසින් එතැනට) වැඩි සේක.

’’මම දෙවියනට දෙවිවූ, සියල්ල තෙමේම අවබෝධ කරගත්, (එම) බුදුරජුන් දැක, මනරම්වූ සියපත් පියුමක් නටුවෙන් කඩා,

’’බුදුරජුන් කෙරෙහි පහන්වූයේ, හොටින් ගෙන ඔසවා, අහසෙහි වැඩ සිටි එම බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේට පිදීමි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ශාස්තෲවූ, පදුමුත්තර බුදුරජතෙම අහසෙහි වැඩ සිටියේ, මාහට මේ අනුමෝදනාව කළ සේක.

’’මෙම එකම පියුම පිදීමෙන්ද, චිත්ත ප්‍රණිධීන්ද කරණකොට ගෙන කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි විනිපාත නම්වූ දුගතියකට නොයන්නෙහිය.

’’පදුමුත්තර නම්වූ සර්‍වඥතෙම මෙම අනුමෝදනා වචන වදාරා, මාගේ කර්‍මය (පිළිබඳ තොරතුරු) පවසා අභිමත පරිදි වැඩමවූ සේක.

’’මින් පෙර ලක්‍ෂයක් වන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් එකපදුමිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

එකපදුමියත්ථෙරස්සාපදානං පඨමං.