ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
35. එකපදුමිය වග්ග
2. තිඋප්පලමාලිය ථෙරාපදානය
’’මම එකල්හි චන්‍ද්‍රභාග නදී තීරයෙහි වඳුරෙක් වීමි. (එහිදී) කඳු අතුරෙහි වැඩහුන් කෙළෙස් රජස් නැති බුදුරජුන් දුටිමි.
’’දස දිගින් බබුළුවන්නාවූ, පිපීගිය උතුම්වූ සල් රුකක් වැනි (දෙතිස් මහා පුරිස්) ලකුණින් හා (අසූවක්) අනු ව්‍යඤ්ජනයන්ගෙන් යුත් බුදුරජුන් දැක සතුටු වීමි.
’’ඔදවැඩි සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ප්‍රීතියෙන් පිනා ගියේ, උපුල් මල් තුනක් මතුයෙහි (අහසෙහි) දමා පිදීමි.
’’විපස්සී බුදුජුන්හට (මෙම) මල් පුදා, ගෞරව සහිතව ගොස් උතුරු දිගට මුහුණ ලා ගියෙමි.
’’පැහැදි සිතින් සීඝ්‍රව යන්නේ, කඳු අතුරෙහි (පැකිලී) වැටී ජිවිතක්‍ෂයට පැමිණියෙමි.
’’මැනවින් කරණලද එම කර්‍මය කරණකොට ගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණ කොට ගෙනද, මිනිස් සිරුර හැර මම තව්තිසා දෙව් ලොවට ගියෙමි.
’’මම තුන්සිය වරක් දිව්‍ය රාජ්‍යය කෙළෙමි. පන්සිය වරක් සක්විති රජ වීමි.
’’මින් එක් අනූවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කරණ ලදද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිඋප්පලමාලිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තීණුප්පලමාලියත්ථෙරස්සාපදානං දුතියං.