ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
35. එකපදුමිය වග්ග
3. ධජදායක ථෙරාපදානය
’’ලොක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රෙෂ්ඨවූ, තිස්ස නම් ශාස්තෘ තෙමේ ලොව පහළ විය. උන්වහන්සේගේ උපධික්‍ෂය (ස්කන්ධොපධි නම්වූ පඤ්චස්කන්‍ධයාගේ අභාවයවූ නිරුපධිශෙෂ නිර්‍වාණය) දැක මා විසින් ධජයක් නගන ලදී.
’’මැනවින් කරණ ලද එම කර්‍මය කරණ කොට ගෙනද මම මිනිස් සිරුර හැර තව්තිසාවට ගියෙමි.
’’මම තුන්සිය වරක් දිව්‍ය රාජයය කරවීමි. එසේම, පන්සිය වරක් සක්විති රජ වීමි.
’’(කරවන ලද) ප්‍රදේශ රාජ්‍ය ගණන් වශයෙන් (මෙපමණයයි) ගිණිය නොහැකිය. පෙර තමා විසින් මනාකොට කරණලද ස්වකීය කර්‍ම ඵලය අනුභව කරමි.
’’මින් දෙයානූවන කපෙහි වූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධජ දානයාගේ මේ විපාකයයි.
’’මම අද කැමතිවන්නේ නම් කඳු වන සහිතවූ ලෝකය කොමුපිලියෙන් වසන්නෙමි. (මේ) එදා මා විසින් කරන ලද පුණය කර්‍මයාගේ විපාකයයි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ධජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ධජදායකත්ථෙරස්සාපදානං තතියං.