ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
39. අවණ්ටඵලදායක වග්ග
6. වල්ලි ඵලදායක ථෙරාපදානය
’’සියළු ජනයෝ එක්ව එකල්හි වනයට ගියාහුය. එකල්හි ඵල සොයන්නාවූ ඔවුහු ඵල වර්‍ග ලැබුවාහුය.
’’එහිදී (මම) සියල්ල තෙමේම අවබෝධ කරගත්තාවූ, පස්මරුන් දිනූ සම්බුදුරජුන් දිටිමි. (දැක උන්වහන්සේට) මම පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, වැල්වල සෑදුනු ඵල වර්‍ගයක් දුනිමි.
’’මින් එක් තිස්වන කපෙහි වූ එකල්හි යම් ඵල දානයක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඵල දානයාගේ මේ විපාකයයි.
’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.
’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් වල්ලි ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
වල්ලිඵලදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.