ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
40. පිළින්දවච්ඡ වග්ග
5. පදුම කූටාගාරිය ථෙරාපදානය
’’සියල්ල තෙමේම අවබෝධ කළාවූ, ලෝකනායකවූ, සර්‍වඥවූ, මොනෙය්‍ය ගුණ යුත්වූ, සමාධියෙහි දක්‍ෂවූ විපස්සී භාග්‍යවත් තෙමේ විවේක කැමැත්තේ (වූහ.)
’’මහාමුනිවූ, පුරුෂොත්තමවූ, (එම) පියදස්සී බුදුරජතෙම වන ලැහැබට පිවිස, පවුල් සිවුර අතුරා වැඩ හුන් සේක.
’’මම පෙර මහ වෙනෙහි මුව වැද්දෙක් වීමි. එම කල්හි පසද මෘගයෙකු සොයන්නේ ඇවිදිමි.
’’එහිදී (චතුර්) ඕඝයන් තරණය කළ, ආශ්‍රව රහිතවූ, පිපියාවූ ශාල වෘක්‍ෂ රාජයෙකු වැනිවූ, උඩට නැගී ආ හිරු වැනිවූ සම්බුදු රජුන් දිටිමි.
’’මම දේවාති දේව වූ, මහත් යශස් ඇති (එම) පියදස්සී බුදුරජුන් දැක එකල්හි ස්වයංජාත විලකට බැස පියුම් ගෙන ආමි.
’’මම සියක් පත් ඇති, මනරම්වූ පියුම් ගෙනවුත් කුළුගෙයක් කොට (එය) පියුමෙන් වැසීමි. (සෙවිළි කෙළෙමි.)
’’පස් මරුන් ජයගත් (සව් සත්හට) අනුකම්පා කරන්නාවූ, කාරුණීකවූ, මහා මුනිවූ පියදස්සී බුදුරජතෙම, රෑ දාවල් දෙකක් (එම) කුළු ගෙයි විසූ සේක.
’’මම පරණ (පියුම්) අස්කොට, අළුත් පියුමින් (එම කුළු ගෙය නැවත) වැසීමි. (සෙවිලි කෙළෙමි.) එකෙණෙහි මම ඇඳිලි බැඳගෙන සිටියෙමි.
’’ලෝක නායකවූ පියදස්සී බුදුරජතෙම සමාධියෙන් නැගිට (දස) දිගුන් බලමින් වැඩහුන් සේක.
’’එකල්හි පියදස්සී බුදුරජුන්ගේ සුදස්සන නම් උපස්ථායක තෙම එම බුදුරජුන්ගේ සිත දැක,
’’අසූ දහසක් භික්‍ෂූන් විසින් පිරිවරණ ලදුයේ වනයෙහි සුවසේ වැඩහුන් ලෝකනායකවූ බුදුරජුන් වෙත එළඹියේය.
’’එකල්හි (එම) වන ලැහැබෙහි අධිගෘහිතවූ යම්තාක් දෙවිවරු වෙත්නම් (එම) සියළු දෙවිවරු බුදුරජාණන් වහන්සේගේ සිත දැන (එහි) රැස්වූහ.
’’කුම්භාණ්ඩයන්ද, රකුසන් සහිතවූ යකුන්ද, රැස්වූ කල්හි බික්සඟනද පැමිණි කල්හි බුදුරජතෙම මෙම ගාථාවන් වදාළ සේක.
’’යමෙක් තෙම සතියක් මුළුල්ලෙහි මට පිදීද, (එසේම) මට ආවාසයක් කරවීද, හේ (කවරෙක්දැයි) මම පවසන්නෙමි. (එය) පවසන්නාවූ මාගේ වචනය අසව්.
’’ඉතා දුකසේ (කලාතුකින්) දැකිය හැකිවූ, තියුණුවූද, ගැඹුරුවූද, (ගති) ප්‍රකට කරණ ලද හේ (කවරෙක්දැයි) නුවණින් (බලා) පවසන්නෙමි. එසේ පවසන්නාවූ මාගේ වචනය අසව්.
’’(මෙතෙම) තුදුස් කපක් (මුළුල්ලෙහි) දිව්‍ය රාජ්‍යය කරන්නෝය. ඔහුගේ මහත්වූ කුළු ගෙය පදුම පුෂ්පයන්ගෙන් (නෙළුම් මල් වලින්) වසන ලද්දකි. (එය) අහසෙහි දරන්නේය. පුෂ්පකර්‍මයාගේ (පියුමින් සෙවිලි කළ කුළු ගෙය පිදීමෙහි) මේ විපාකයයි.
’’සූවිසි කප් සියයක් (කල් මුළුල්ලෙහි) දෙව් මිනිස් දෙගතියෙහි (මිශ්‍ර ලෙස) සැරිසරන්නේය. ඒ (සියළු) තන්හිදී (මට) මල්මුවා විමනක් අහසෙහි දරන්නේය.
’’යම්සේ පියුම් පතෙහි දිය නොතැවරේද, එසේම මොහුගේ නුවණෙහි ක්ලේශයෝ නොතැවරෙත්.
’’මෙතෙම පඤ්ච නීවරණයන් සිතින් ලිහා (බැහැරකොට) නෛශ්ක්‍රම්‍යයෙහා සිත් උපදවා ගිහිගෙන් (නික්ම) පැවිදිවන්නේය.
’’ප්‍රාඥවූ, සිහියෙන් යුත්වූ, රුක්මුල්හි වසන්නාවූ (මොහුට) එහිදී මල්මුවා විමනක් මුදුනෙහි දරන්නේය.
’’(මෙතෙම) චීවර, පිණ්ඩපාත (ගිලාන) ප්‍රත්‍යය, සේනාසන යන සිව්පසය බික් සඟනට දී, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.
’’කුළුගෙයින් (යන) ගමන්ම පැවිද්දට නික්මුණෙමි. රුක්මුල්හි වසන කල්හි කුළුගෙය(ද) දරයි.’’
’’චීවරයෙහිද, පිණ්ඩපාතයෙහිද, මාගේ චේතනාවක් නැත. (කරන ලද) පින්කම හා යෙදුනේ (එම චීවර ආදිය) සම්පූර්‍ණවම ලබමි.
’’මා විසින් ගනන් වශයෙන් (මෙතෙකැයි) ගිනිය නොහැකි (බොහෝ) කෙළගණන් කල්පයෝ ඉක්මවන ලදහ. (මා විසින්) හිස් ලෙස එම කල්පයෝ ඉක්මවන ලදහ. බුදුවරු අතහැර දමන ලදහ.
’’අටලොස් සිය වැනි කපෙහි හෙවත් (මින්) එක් දහස් අටසියවන කපෙහි පියදස්සී නම් බුදුරජතෙම ලොව පහළවිය. මම උන්වහන්සේ ඇසුරුකොට මෙම යෝනිය (ජන්මය)ට එළඹියේ වෙමි.
’’මෙහිදී පසැස් ඇති අනොම නම්වූ සම්බුදුරජුන් දුටිමි. මම උන්වහන්සේ වෙත එළඹ අනාගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි.
’’පස්මරුන් ජයගත්, දුක් කෙළවර කරන්නාවූ බුදුරජතෙම මට (ප්‍රතිපත්ති) මාර්‍ගය දේශනා කළ සේක. උන්වහන්සේගේ ධර්‍මය අසා නිවනට පැමිණියෙමි.
’’ශාක්‍යකුල තිලකවූ ගොයුම් සම්බුදුන් තුටුකොට, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිතව වෙසෙමි.
’’එක් දහස් අටසියවන කපෙහි බුදුරජුන්හට යම් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මා විසින් සියළු ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම කූටාගාරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පදුමකූටාගාරියත්ථෙරස්සාපදානං පඤ්චමං.