ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
40. පිළින්දවච්ඡ වග්ග
4. මධුදායක ථෙරාපදානය
’’සින්ධු නදී තීරයෙහි මැනවින් කරණ ලද මාගේ අසපුවක් විය. එහි මම ලක්‍ෂණ ශාස්ත්‍රය සහිත ඉතිහාසය සිසුනට උගන්වමි.
’’ධර්‍මකාමීවූ, විනීතවූ (මාගේ) අනුශාසනය අසනු කැමැත්තාවූ ෂඩඬ්ග (වේද)යෙහි පරතෙරෙට ගියාවූ එම ශිෂ්‍යයෝ සින්ධු ගං ඉවුරෙහි වෙසෙති.
’’උත්පාතයන්ගේ ගමන්හිද, ලක්‍ෂණ ශාස්ත්‍රයන්හිද උත්තමාර්ත්‍ථය සොයන්නාවූ ඔවුහු එකල්හි වනයෙහි වෙසෙත්.
’’සුමේධ නම් සම්බුදුරජතෙම ලොව පහළවිය. අපට අනුකම්පා කරන්නාවූ එම බුදුරජතෙම එකෙණෙහි (අප වෙත) එළඹි සේක.
’’(එසේ) එළඹියාවූ මහාවීර සුමේධ ලෝකනායකයන් වහන්සේ (දුටිමි.) (දැක) මම තණ ඇතිරියක් කොට ලෝක ජ්‍යෙෂ්ඨවූ බුදුරජුන්හට දුනිමි.
’’මම වනයෙන් මී ගෙන (අවුත්) බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේට දුනිමි. සම්බුදුරජතෙම (එය) වළඳා මෙම වචනය වදාළ සේක.
’’යමෙක් තෙම පැහැදුනේ, සියතින් මට ඒ මධු (මී පැණි) දානයක් දුන්නේද, මම හේ (කවරෙක්දැයි) පවසන්නෙමි. එසේ පවසන්නාවු මාගේ වචනය අසව්.
’’මෙම මධු දානය කරණකොට ගෙනද, තණ ඇතිරි දානය කරණකොට ගෙනද, කප් තිස් දහසක් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය.
’’(මින්) කල්ප තිස් දහසක් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදින්නාවූ, නම්න් ගෞතමවූ ශාස්තෘ තෙමේ ලොව පහළ වන්නේය.
’’(මෙතෙම) උන්වහන්සේගේ ධර්‍මයෙහි දායාදී අයිතිකරුවෙක්ව, ධර්‍මයෙන් නිර්මිත කළාක් වැනි ඖෙරස පුත්‍රයෙක්, බුද්ධ පුත්‍රයෙක්ව, සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන් පිරිසිඳ) දැන ආශ්‍රව රහිතව පිරිණිවන් පාන්නේය.’’ කියායි.
’’දෙව්ලොවින් පෙරළා මෙහි පැමිණ, මව් කුසට (පිළිසිඳීම් වශයෙන්) පැමිණි කල්හි මීයෙන් පොළොව වසමින් මි වැස්සක් වැස්සේය.
’’මා ඉතා පහසුවෙන් මව් කුසින් බිහිවූ කෙණෙහි එහිදීද මට නිති කල් පවත්නා මධු වර්‍ෂා කෙළේය.
’’ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදි වීමි. ආහාරපාන සුලභ කෙනෙක්ද වීමි. මධු දානයාගේ මේ විපාකයයි.
’’මම දෙව් මිනිස් දෙගතියෙහි, සියළු කාම සම්පත්තීන්හි සමෘද්‍ධවූවෙක්ව, එම මධු දාන බලයෙන්ම, ආශ්‍රව ක්‍ෂය නම්වූ නිවණටද පැමිණියේ වෙමි.
’’වැසි වස්නා කල්හිද, සිව් අඟුල් (උසට වැඩුනු) තණ බිම්හිද, මනාව මල් පිපීගිය ගස්වලින් වැසුනාවූ තන්හිද, (ජනයාගෙන්) හිස්වූ ගෘහය, මණ්ඩපය, වෘක්‍ෂමූලය යන මේ තන්හිද, නිතර ආශ්‍රව රහිතව සුඛිතවූයේ වෙසෙමි.
’’මහත්වූ හෙවත් ප්‍රණීතවූද, මධ්‍යස්ථවූද, හීනවූද සියළු භවයන් ඉක්මවීමි. අද මාගේ ආශ්‍රවයෝ ක්‍ෂයවූහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’මින් තිස් දහස් කපකින් පෙරවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මධු දානයාගේ මේ විපාකයයි.
’’මා විසින් සියළු ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මධුදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මධුදායකත්ථෙරස්සාපදානං චතුත්ථං.