ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
40. පිළින්දවච්ඡ වග්ග
3. සබ්බකිත්තික ථෙරාපදානය
’’පිපුණු කිණිහිරි රුකක් මෙන් බබලන, ප්‍රදීප වෘක්‍ෂයක් මෙන් දිලිසෙන, ඔසධි තාරකාව මෙන් බබලන, අහසෙහි විදුලියක් බඳුවූ,
’’බිය නොමැති, තැති ගැනීම් නැති, කෙශර සිංහරාජයෙකු වැනිවූ, තීර්ත්‍ථක සමූහයා මඩින්නාවූ, ඤාණාලෝකය ප්‍රකට කරන්නාවූ,
’’මෙම ලෝකයා (දුකින්) ගොඩලන, සියලු සැක සිඳලන, සිංහරාජයෙතු මෙන් ගුගුරන, ලෝකනායකවූ බුදුරජුන් දුටිමි.
’’(එකල්හි) මම ජටා සහ අඳුන් දිවි සම් දරන්නෙක් වීමි. වැඩෙන්නාවූ, ඎජුවූ, ප්‍රතාපවත් කෙනෙක් වීමි. වැහැරි සිවුර ගෙන එම (බුදුරජුන්ගේ) පාමුල ඇතිරීමි.
’’කළුවැල් (දුම්) ගෙන, තථාගතයන් (එම දුමින්) පිසහළෙමි. බුදුරජ (එම සුවඳ දුමින්) පිසහැර ලෝකනායකවූ උන්වහන්සේට ස්තූති කළෙමි.
’’චතුරොඝ තරණය කළ උතුමාණෙනි, මහ මුනීන්‍ද්‍රයාණෙනි, ඔබ මෙම ලෝකයා (සසර දුකින්) ගොඩලන්නෙහිය. ඤාණාලෝකයෙන් ආලෝක කරන්නෙහිය. (ඔබ විසින්) උත්තම ඥානයද අනාවරණය කරණ ලද්දෙහිය.
’’දම්සක් පවත්වහිය. අන්‍ය තීර්ත්‍ථකයන් මඩනෙහිය. දිනන ලද සංග්‍රාම ඇති, ශ්‍රෙෂ්ඨවූ ඔබ පෘථිවිය කම්පා කෙරෙහිය.
’’මහ සමුදුරෙහි රළ වේගය වෙරළෙහිදී බිඳෙති. එසේම, ඔබගේ නුවණෙහි සියළු දෘෂ්ටීහු බිඳෙති.
’’විලෙක්හි, සියුම් ඇස් ඇති දැළක් ඇතිරූ කල්හි, එකෙණෙහි දැල තුලට ගිය ප්‍රාණීහු (මත්ස්‍යයන්) පෙළුනාහු වෙත්ද?
’’එසේම ලෝකයෙහි අන්‍ය පාෂාණ්ඩ ධර්‍මයන් ඇසුරුකළ තීර්ත්‍ථකයෝ, නිදුකාණන් වහන්ස, ඔබ වහන්සේගේ උතුම් නුවණ ඇතුළත පෙරළෙත්.
’’සැඩ පහරෙහි ගසාගෙන යන්නවුනට පිහිටවූ ඔබ වනාහි නොනෑයනටද පිහිට (වෙහිය) භයින් පීඩිතයනටද පිහිට (වෙහිය.) ලෝකයා විසින් අතහැර දමන ලද යදිනටද පිහිට (වෙහිය.)
’’අසහාය වීරවූ, අසදෘශවූ, කරුණා මෛත්‍රීන්ගේ රැස්වීම් ඇති, අසමවූ, ශාන්තවූ, (ධ්‍යාන) වශීවු, තාදී ගුණ ඇති, දිනන ලද මාර්‍ගය ඇති,
’’ප්‍රාඥවූ, පහකළ මෝහය ඇති, කම්පා නොවන්නාවූ, සැක (විචිකිච්ඡා) දුරුකළ, වැස නිමවූ බඹසර ඇති, නිර්‍මලවූ, දොවාහළ (සෝදා දැමූ එහෙයින්ම) පිරිසිදුවූ (ඔබ) වමාරාහළ දොස් ඇත්තේ වෙහිය.
’’කෙළෙස් ඇලුම් ඉක්මවූ, නැසුවාවූද මද ඇති, ත්‍රිවිද්‍යා ඇති, තුන් ලෝ මුදුන්පත් (ලෞකීක) සීමාව ඉක්මගිය, ධර්‍ම ගරුකවූ, කළ කටයුතු ඇති ඔබ, (සත්ත්‍වලෝකයාහට) හිතවත්වූයෙහිය. ආශ්චර්‍ය්‍ය (පුද්ගල) වෙහිය.
’’ඔබ නැවකට (ගමන්මග පෙන්වන) තරුවක් මෙන් වෙහිය. නිධානයක් මෙන් අස්වැසිලි කරන්නේ වෙහිය. සිංහයෙකු මෙන් බිය රහිත වෙහිය. හස්ති රාජයෙකු මෙන් ගර්චිත වෙහිය.
’’මම එකල්හි (මෙසේ) ගාථා දසයකින් මහා යශස් ඇති පදුමුත්තර බුදුරජාණන් වහන්සේට ස්තූති කොට (එම) ශාස්තෘන් වහන්සේගේ පා වැඳ, තූෂ්ණීම්භූතව සිටියෙමි.
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ශාස්තෘවූ පදුමුත්තර බුදුරජතෙම බික් සඟන මැද හිඳ, මෙම ගාථාවන් වදාළ සේක.
’’යමෙක් මාගේ ශීලයද, ඥානයද, ධර්‍මයද පැසසීද, හේ (කවරෙක්දැයි) මම ප්‍රකාශ කරන්නෙමි. (එය) විමසන්නාවූ මාගේ (වචනය) අසව්.
’’හෙතෙම) කල්ප සැට දහසක් දෙව්ලොව සිත් අලවා වසන්නේය. අනික් දෙවියන් යටපත්කොට ආධිපත්‍යය කරවන්නේය.
’’එම කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, හෙතෙම පසුව පැවිදිව, ගෞතම බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි පැවිදි වන්නේය.
’’පැවිදිව, කයින් පවුකම් දුරුකොට, සියළු ආශ්‍රවයන් ප්‍රහාණ පරිඥා වශයෙන් දැන, ආශ්‍රව රහිතව පිරිනිවන් පාන්නේය.’’
’’මෙසේ වැසි වළාවක් වස්වමින් මෙම පොළොව තෘප්තියට පත්කෙරේද, එසේම, මහා වීරයාණන් වහන්ස, ඔබ වහන්සේගේ ධර්‍මයෙන් මා තුටු කළේය.
’’(මම) ශීලයද, ප්‍රඥාවද, ධර්‍මයද, ලෝක නායකයන් වහන්සේද පසසා, අමෘත පදයවූ, උතුම්වූ නිර්‍වාණ නමැති ශාන්තියට පැමිණියේ වෙමි.
’’පසැස් ඇති ඒ භාග්‍යවත් තෙමේ, බොහෝ කාළයක් වැඩ සිටින්නේ නම් ඒකාන්තයෙන් ඉතා යෙහෙකි. (එවිට අප සියල්ලෝ) නොදත් දෙය දැනගන්නාහුය. අමෘත පදය (නිවණ) ස්පර්‍ශ කරන්නාහුය. (ලබන්නාහුය.)
’’මේ මාගේ පස්වන ජාතියයි. සියලු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’මින් සියක් දහස්වන කපෙහි බුදුරජාණන් වහන්සේට යම් පැසසීමක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුදුරජුන්හට පැසසීමෙහි මේ විපාකයයි.
’’මා විසින් සියළු ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සබ්බකිත්තික තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සබ්බකිත්තිකත්ථෙරස්සාපදානං තතියං.