ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
40. පිළින්දවච්ඡ වග්ග
2. සෙල ථෙරාපදානය
’’මම හංසවතී නගරයෙහි වීථි ස්වාමියෙක් (වීදියක ප්‍රධානියෙක්) වීමි. මාගේ ඤාතීන් කැඳවා මෙම වචනය කීමි.
’’බුදුරජතෙම ලොව පහළවිය. (උන්වහන්සේ) නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රයකි. ලෝවැස්සන්ගේ පූජාවන් පිළිගන්නාවූ (එම සර්‍වඥතෙම) මුළු ලෝකයටම ආශීර්ර්‍වාදයකි.
’’ක්‍ෂත්‍රියයෝද, නිගම වාසීහුද, බමුණු මහාසාරයෝද, පහන් සිත් ඇත්තාහු ඔවුහු එකමුතුව සහායවූහ.
’’ඇත් සෙනගය, රථ සෙනගය, පාබල සෙනගය, අස් සෙනගය යන සිව්රඟ සෙනගෙහි වූවෝ, පහන් සිත් ඇත්තාහු, සොම්නස්වූවාහු, ඔවුහු (සමගිව) සහායවූහ.
’’ක්‍ෂත්‍රියනට දාව, ක්‍ෂුද්‍ර ස්ත්‍රීන්ගේ කුසයෙහි උපන්නෝ (ක්‍ෂුද්‍රයෝ)ද, රාජපුත්‍රයෝ (ක්‍ෂත්‍රියයෝ)ද, වෛශ්‍යයෝද, බ්‍රාහ්මණයෝද, පහන් සිත් ඇත්තාහු, සොම්නස් වූවාහු ඔවුහු සමගිව සහායවූහ.
’’අරක්කැමියෝද, සළු වඩන්නේද, දියවඩන්නෝද, මල්කරුවෝද, යන ඔවුහු පහන් සිත් ඇත්තාහු, සොම්නස්වූවාහු සමගිව සහායවූහ.
’’රදව්ද, පෙහෙරුද, සෙම්මරුද, කරණැවෑමියෝද, යන ඔවුහු පහන් සිත් ඇත්තාහු, සොම්නස්වුවාහු සමගිව සහායවූහ.
’’හී වඩුවෝද, ලියන වඩුවෝද, සම් සාදන්නෝද යන ඔවුහු පහන් සිත් ඇත්තාහු, සොම්නස්වූවාහු සමගිව සහායවූහ.
’’එසේම කඹුරෝද, රන් කරුවෝද, ඊයම් වැඩ ලෝකුරුවෝද, යන ඔවුහු පහන් සිත් ඇත්තාහු, සොම්නස්වුවාහු, සමගිව සහායවූහ.
’’බැලයෝද, දාසයෝද යන බොහෝ දස් කම්කරුවෝ තම තමන්ගේ බල පමණින් සමගිව සහායවූහ.
’’දිය ගෙනෙන්නෝද, දර ගෙනෙනේනෝද, ගොවියෝද, තණ ගෙනෙන්නෝද, තම තමන්ගේ බල පමණින් සමගිව සහායවූහ.
’’මල් ගෙන එන්නෝද, මල් ගොතන්නෝද, කොළ එකතු කරන්නෝද, ගෙඩි වර්‍ග ගෙනෙන්නෝද, යන ඔවුහු තම තමන්ගේ බල පමණින් සමගිව සහායවූහ.
’’ගණිකාවෝද, කළදැස්සෝද, පූ වෙළෙන්දෝද, මාළු වෙළෙන්දෝද යන ඔවුහු තම තමන්ගේ බල පමණින් සමගිව සහායවූහ.
’’ඒ සියල්ලෝ එක්ව එක්රැස්වෙමු. නිරුත්තරවූ පුණ්‍ය ක්‍ෂෙත්‍රයෙහි පින්කමක් කරන්නෙමු’’ (යයි මම ඔවුනට කීමි.)
’’එකෙණෙහි ඔවුහු මාගේ වචනය අසා රැස්වූහ. මැනවින් කටයුතු නිමකළ උවටැන් හලක්ද බික් සඟනට කරවූහ.
’’ඔදවැඩියේ, සතුටු සිත් ඇත්තේ, එම ශාලාව නිමවා, එකී හැම දෙන සමග බුදුරජුන් වෙත එළඹියෙමි.
’’ලෝකනාථවූ, නර ශ්‍රේෂ්ඨවූ, සම්බුදුරජුන් වෙත එළඹ, ශාස්තෲන් වහන්සේගේ පා වැඳ මෙම වචනය කීමි.
’’වීරයන් වහන්ස, මේ තුන්සියයක් පමණවූ පුරුෂයෝ එක්රැස්ව උවටැන් හළක් කරණ ලදී. බුදුරජාණන් වහන්ස, එය (ඔවුහු) ඔබ වහන්සේට පිළිගන්වත්.
’’පසැඟ ඇති සර්‍වඥතෙම බික් සඟන හමුයෙහි (එය) පිළිගෙන, තුන්සියයක් දෙනා ඉදිරියෙහි මෙම ගාථාවන් වදාළ සේක.
’’මෙම තෙසිය දෙනද, (එහි) ප්‍රධාන තෙමේද, (එක්ව ඔවුනොවුනට) අනුවර්‍තනයවූහ. (එසේම) ඒ සියල්ලෝ (එම පුණ්‍ය) සම්පත්තිය කොට (එහි කුශල විපාක) අනුභව කරන්නාහුය.
’’අන්තිම භවය පැමිණි කල්හි නිරුත්තර ශීතභාවයවූ, අජරවූ, අමරවූ, ශාන්තිවූ නිවනද සාක්‍ෂාත් කරන්නාහුය’’ කියායි.
’’ශ්‍රමණයන් අතුරෙන් උතුම්වූ සර්‍වඥ බුදුරජතෙම මේ දැක්වූ අයුරින් වදාථ සේක. මම බුදුරජුන්ගේ වචනය අසා සොම්නස දැක්වීමි.
’’මම කල්ප තිස් දහසක් දෙව්ලොව සිත් අලවා විසීමි. දෙවෙනුව, පන්සිය වරක් දිව්‍ය රාජ්‍යය කරවීමි.
’’මම දහස්වරක් සක්විති රජ වීමි. දිව්‍ය රාජ්‍යය කරන්නාවූ මට මහ දෙවිවරුද වැන්දාහ.
’’මෙම මිනිස් රජයෙහි පිරිස සබඳකම් ඇත්තෝම වූහ. අන්තිම භවය පැමිණි කල්හි වාසෙට්ඨ නම් බමුණෙක් විය.
’’මම අසූ කෝටියක් තැන්පත් ධනය ඇති එම වාසෙට්ඨ බමුණාගේ පුත්‍රයෙක් වීමි. ’’සෙල’’ යනු මගේ නමයි. ෂඩඞ්ගයෙහි පරතෙරට ගියේද වෙමි.
’’ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුව ජඞ්ඝා විහාරය කරන්නාවූ (සක්මන් කරණ) දළමඩුළු බරින් යුත්, පිළියෙළ කරණ ලද යාග ඇති, ’’කෙණිය’’ නම් තවුසා දැක මෙම වචනය කීමි. (කෙසේද යත්?) ’’ආවාහයක් වේද? විවාහයක් හෝ වේද? තා විසින් රජතෙමේ හෝ නිමන්ත්‍රණය කරණ ලදුයේ වේද? (කියායි.)
’’මම දෙවියන්යයි සම්මත බමුණන් කෙරෙහි පූජාවක් කරනු කැමැත්තේ රජුට නිමන්ත්‍රණය නොකරමි. මාගේ යාගයක්ද නැත.
’’මාගේ ආවාහයක්ද නැත. (එසේම) මාගේ විවාහයක්ද විද්‍යමාන නොවේ. ශාක්‍යයන්ගේ සතුට ඇති කරන්නාවූ, දෙවියන් සහිත ලෝකයෙහි ශ්‍රේෂඨවූ,
’’සියළු ලෝ වැස්සන්ට හිත පිණිස (හැසිරෙන්නාවූ) හැම සත්නට සුව එළවන්නාවූ ඒ සර්‍වඥ තෙම අද මා විසින් නිමන්ත්‍රනය කරන ලදී. මෙය උන්වහන්සේට පිළියෙළ කිරීම උන්වහන්සේ සඳහාය.
’’තිඹිරි ගෙඩියක වර්‍ණයට බඳු පැහැ ඇති, පමණ කළ නොහැකි ගුණ ඇති, උපමාවිෂයාතික්‍රාන්තවූ, රූපයෙන් අසදෘශවූ, බුදුරජතෙම සෙට දවසට පවරණ ලදී.
’’කෝවෙහි ලා තැබූ ස්වර්‍ණයක් මෙන් (පැහැපත්), කිහිරඟුරු මෙන් (දිලිසෙන), විදුලියක් වැනිවූ, මහාධීරවූ ඒ බුදුරජතෙම මා විසින් පවරණ ලදී.
’’කඳු මුදුනෙහි පෙනෙන ගිනි සිලක් වැනිවූ, පසළොස්වක් දිනයෙහි සඳ වැනිවූ, බටවලින් හටගත් ගින්නක පැහැය මෙන් බබලන ඒ බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’බිය නොවන්නාවූ, බිය ඉක්මවන්නාවූ, භවයාගේ කෙළවර කරන්නාවූ, මොනෙය්‍ය ගුණ යුත්වූ, සිහ රජෙකු වැනි, මහා වීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’බුදු දහමින් දක්‍ෂවූ, අනුන් විසින් බලයෙන් මැඩලිය නොහෙන හස්ති රාජයෙකු වැනිවූ, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’සද්‍ධර්‍මචර්‍ය්‍යාවෙහි දක්‍ෂ, බුද්‍ධ ශ්‍රේෂ්ඨවූ, අසදෘශවූ, වෘෂභොපමවූ, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’අප්‍රමාණ වර්‍ණ ඇති, අපමණ යශස් ඇති, විචිත්‍රවූ සකල ලක්‍ෂණ ඇති, ශක්‍රයා වැනිවූ, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’(ධ්‍යානයන්ගෙන්) වසඟවූ ශ්‍රාවක සමූහයා ඇති, ප්‍රතාපවත්වූ, තේජස් ඇති, (ගුණයෙන් කිසිවෙකුටත්) ලංවිය නොහැක්කාවූ, මහාවීරවූ, බ්‍රහ්මොපමවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’පැමිණියාවූ ධර්‍මය ඇති, බල දසයකින් යුත්, බලයන් ඉක්මවා ගිය, හැම බලයන්ගේ පවා පරතෙරට ගිය, මහ පොළොව වැනි, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’ලංවිය නොහැක්කාවූ, බලයෙන් මැඩලිය නොහැක්කාවූ, නිශ්චලවූ, උස්ව නැංගාවූ, වැඩෙන්නාවූ මහාමෙර වැනි, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’අනන්ත ඥාන ඇත්තාවූ, අසමසමවූ, අතුල්‍යවූ, ශ්‍රේෂ්ඨත්‍වයට ගියාවූ, ආකාශය වැනි, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’බියෙන් තැතිගත්තවුනට පිහිටවූ, සරණගතයනට ආරක්‍ෂා ස්ථානයවූ, (සත්ත්‍ව ලෝකයට) ඇස් වැසිල්ලක්වූ, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
පන්නරසමං භාණවාරං.
’’බුද්‍ධිමතුන්ට වාසස්ථානයක්වූ, සුව සොයන්නාවුනට පින් කෙතක්වූ, (ගුණ රුවන් පිරුනු) රත්නාකරයක්වූ, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’(කෙලෙස් තැවිලි නැතිකොට) අස්වැසිලි කරන්නාවූ, (දුක් දොම්නස් නසා) සතුට ඇතිකොට ඇතිකරන්නාවූ, (සෝවාන් ආදී සතර) ශ්‍රමණය ඵල දායකවූ, (අමා වැසි වස්වන) මහා මේඝයක් වැනිවූ, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’ලොවට ඇසක් වැනිවූ, මහා තේජස් ඇති, සියළු අඳුරු දුරු කරන්නාවූ සූර්‍ය්‍යයා වැනිවූ, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’ආරම්මණ විමුක්ති විෂයෙහි ස්වභාව කෘත්‍යයන් මේ මේ යයි දක්නාවූ, චන්‍ද්‍රයා වැනිවූ, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’ලෝකයෙහි වෘද්ධත්‍වයෙන් යුක්තවූ ලක්‍ෂණයන්ගෙන් අලඞ්කෘතවූ, පමණකළ නොහැකිවූ, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’යමෙකුගේ ඤාණය පමණ කළ නොහැකිද, යමෙකුගේ ශීලය උපමා විෂයාතික්‍රාන්තද, යමෙකුගේ විමුක්තිය අසදෘශද, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’යමෙකුගේ නුවණ අසදෘශද, යමෙකුගේ බලය අචින්ත්‍යද, යමෙකුගේ පරාක්‍රමය ජ්‍යෙෂ්ඨද, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’රාගයද, ද්වේෂයද, මෝහයද යන සියළු විෂයෝ නසන ලදහ. ඖෂධයක් වැනිවූ, මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’කෙලෙස් ලෙඩද, බොහෝ දුක්ද, සියළු (මෝහ) අඳුරුද දුරුකරන්නාවූ වෙදෙකු වැනිවූ මහාවීරවූ එම බුදුරජතෙම මවිසින් පවරණ ලදී.
’’පින්වත, බුද්‍ධ යන යම් වචනයක් කියහිද, මෙම ශබ්දය පවා අතිශයින් දුර්ලභය. බුද්ධය යන මේ වචනය අසා මට ප්‍රීතිය හටගත්තේය.
’’සිතින් නොදැරිය හැක්කාවූ මාගේ ප්‍රීතිය පිටත පැතිරෙයි. ප්‍රීති සිත් ඇති ඒ සෙල නම්වූ මම මෙම වචනය කීමි. (ඒ කෙසේද යත්)
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නර ශ්‍රෙෂ්ඨවූ, ඒ භාග්‍යවතුන් වහන්සේ කොහිද? (සතර) ශ්‍රාමාණ්‍ය ඵල දායකවූ උන්වහන්සේට එහි ගොස් නමස්කාර කරන්නෙමි’’ (කියායි.)
’’(කෙණිය තවුස්තෙමේ) මාගේ දකුණු අත ගෙන හටගත් සොම්නස් ඇත්තේ, කරන ලද ඇඳිලි ඇත්තේ සෝහුල් පහකරණ බුදුරජුන් (අරභයා) මෙසේ කීය.
’’නිල් අඳුන් කුලක් වැනිවූද, උදාවන්නාවූ වැහි වළාවක් බඳුවූද, සයුර මෙන් පෙනෙන්නාවූ මේ මහවනය දක්නෙහිද?
’’මෙහි නොදැමුණු අය දමනය කරන්නාවූ ගුණ ඇති, විනෙය්‍ය (හික්ම විය යුතු) ජනයන් හික්මවන බෝ පැකි දම් (බෝධි පාක්‍ෂික ධර්‍ම) පිළිවිදුවන (ප්‍රතිවේධ කරවන) ඒ බුදුරජතෙම වැඩ වෙසේය කියායි.
’’ඉක්බිති සෙල (බමුණුවූ) මම පැන් පවස ඇත්තේ, දිය සොයන්නාක් මෙන්ද, සාදුකින් පෙළුනේ බොජුන් සොයන්නාක් මෙන්ද, වස්සා කෙරෙහි ගිජුවූ දෙනක් (එම) වස්සා සොයන්නාක් මෙන්ද මෙසේ බුදුරජුන් සෙවීමි.
’’බුදුරජුන් වෙත යන කල්හි ආචාර උපචාරයන් දන්නාවූ ධර්‍මයට සුදුසු සංවරය ඇති, තම සිසුන් (මෙසේ) හික්මවීමි. (කෙසේදයත්)
’’එකලාව හැසිරෙන සිහ රජුන් මෙන් බුදුවරු ලංවිය නොහැක්කෝය. (එබැවින්) මානවකවරුනි, (තෙපි) පියෙහි පිය තබා (පියවර මනිමින්) එන්නාහුය.
’’ඝොරවූ ආශික්ත විෂ සර්‍පයකු මෙන්ද, කෙශර සිංහයෙකු මෙන්ද, දළ ඇති මහත්වූ ඇත් රජෙකු මෙන්ද, මෙසේ බුදුවරු ලංවිය කොහැක්කෝය.
’’මානවකවරුනි, (තෙපි) කසින්නාවූද, කිඹිසින්නාවූද (ශබ්ද) නවතා, පියෙහි පිය තබා, බුදුරජුන් වෙත එළඹෙව්.
’’(බුදුවරු) සැහැල්ලු පැවැතුම් ගරු කරන්නෝය. නිශ්ශබ්දතාව කැමැත්තෝය. (ගුණයෙහි) ඉක්මවිය නොහැක්කෝය. එළඹිය නොහැක්කෝය. දෙවියන් සහිත ලෝකයෙහි ගරුවූ උතුමෝද වෙත්.
’’යම් කලෙක්හි මම ප්‍රශ්න විචාරම්ද, පිළිසඳර හෝ කථා කෙරෙම්ද, එකල්හි නිශ්ශබ්දවූවෝ වව්. මොනෙය්‍ය ගුණ ඇත්තෝව සිටිව්.
’’ඒ මුනිරජතෙම නිවන් පැමිණීම පිණිස පවත්නාවූ ක්‍ෂෙම (නිර්භය) වූ යම් ධර්‍මයක් දේශනා කෙරේද, එම ධර්‍මාර්ත්‍ථයම අසව්. සද්ධර්‍මශ්‍රවණය සැපය.
’’මම බුදුරජුන් වෙත එළඹ, එම මුනීන්‍ද්‍රයන් වහන්සේ හා පිළිසඳරෙහි යෙදුනෙමි. එම පිළිසඳර කථාව නිමවා (උන්වහන්සේගේ) මහ පුරිස් ලකුණු පරීක්‍ෂා කෙළමි.
’’එසේ පරීක්‍ෂා කරන්නාවූ මම) මහා පුරිස ලක්‍ෂණ තිසක් දකිමි. මහා පුරිස ලක්‍ෂණ දෙකක් ගැන පමණක් (නොපෙනෙන බැවින්) සැක කරමි. (එයින්) කොහොහිත වත්‍ථගුය්හතාව (කොපුවක් ඇතුලෙහි මෙන් පවත්නා පුරුෂ ව්‍යඤ්ජනය ඇතිබව) සර්‍වඥතෙම ඎද්‍ධි බලයෙන් පෙන්වූහ.
’’(දෙවෙනි නොපෙනෙන ලක්‍ෂණයවූ) දිව පිටතට ඇද, නැහැය පිරිමැද්දාහ. සර්‍වඥතෙම හුදුනලල් තලයද (දිවෙන්) වැසූහ.
’’මම උන්වහන්සේගේ (අසූවක්) අනුව්‍යඤ්ජන සහිතවූ, සම්පූර්‍ණවූ දෙතිස් මහපුරිස් ලකුණු දැක (හේ) සර්‍වඥයයි තීරණයකොට සිසුන් සමග පැවිදිවීමි.
’’තුන් සියයක් (සිසුන්) සමග අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. අඩමසක් නොපැමිණි කල්හිම (අපි) සියල්ලෝ නිවණට (රහත්බවට) පැමිණියෝ වෙමු.
’’නිරුත්තරවූ පුණ්‍ය ක්‍ෂෙත්‍රයෙහි එක්ව පින්කම් කොට, එක්ව සසරෙහි හැසිර, එක්වම රහත් වූහ.
සහයෝගතා ධර්‍මයෙහි වසඟවූ මම හෙවත් සහාය පිරිස සහිතවූ මම ගොනැසිඳී මැනවින් කළ එම කර්‍මය කරණකොටගෙන හෙතු (අනුසස්) අටක් ලබමි.
’’දිශාවන්හි පුදනු ලබන්නේ වෙමි. මගේ තැති ගැනුමක් නැත.
’’මට රෝගයෝ නොවෙති. දීර්‍ඝායු රකිමි, හෙවත් බොහෝ කල් ජීවත් වෙමි. සියුම් සිවි ඇත්තේ වෙමි. පතනු ලබන නිවාසයෙහිම වසමි.
’’සහයෝගතා ධර්‍මයෙහි වූ මම ගොනැසිඳී (මෙසේ) අට අනුසසක් ලැබීමි. මාගේ මේ අනුසස් අටින් බැහැරවූ අනික් අනුසස් සිව් පිළිසිඹියාවන් සහිත රහත් බවයි.
’’මහා මූනීන් වහන්ස, (කළයුතු) සියල්ල අවසන් කළාවූ, කරණ ලද කටයුතු ඇත්තාවූ, ආශ්‍රව රහිතවූ ඔබ වහන්සේගේ පුත්‍ර (බුද්ධ පුත්‍ර) තෙමේ ’’අඨගොපානසී’’ නම්ද වේ.
’’සහයෝගතා ධර්‍මයෙහි වශීවු මම කණු පසක් දී මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙන හේතු (අනුසස්) පසක් ලබමි.
’’මම මෛත්‍රීයෙන් නොසැලෙමි. පිරිපුන් අඟ පසඟ ඇත්තේ වෙමි. පිළිගතයුතු වචන ඇත්තේ වෙමි. මම කණුව මෙන්ම නොගිලිහෙමි.
’’මාගේ සිත භ්‍රාන්ත නොවේ. කුමකට වුවද නිශ්චල වෙමි. මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙන හේතු (අනුසස්) පසක් ලබමි.
’’බුදුරජාණන් වහන්ස, ගෞරව සහිතවූ (ස්වාමියෙකු ඇතැයි) යටත් පැවතුම් ඇති, කරණ ලද කටයුතු ඇති, ආශ්‍රව රහිතවූ ඔබ වහන්සේගේ ශ්‍රාවකවූ ඒ භික්‍ෂු තෙමේ (ඔබ වහන්සේ) වඳියි.
’’මම මනාලෙස වැස නිමවූ පළඟක් කොට මැනවින් කළ එම කර්‍ම විපාකය කරණකොටගෙන හේතු (අනුසස්) පසක් ලබමි.
’’මම උසස් කුලයෙහි ඉපිද මහත් භොග සම්පත් ඇත්තේ වෙමි. සියළු සම්පත්තීන්ගෙන් ආඪ්‍ය වෙමි. මාගේ මසුරු කමක් නොමැත.
’’ගමනක් (යෑමට) සිතූ කල්හි පළඟක් එළඹ සිටී. එම උතුම් පළඟ සමග මාගේ පැතූ තැනට යමි.
’’එම පර්‍ය්‍යඞ්ක දානය කරණකොටගෙන සියළු අඳුර දුරු කෙළෙමි. සියලු අභිඥා බලයනට පත් (ඒ) ස්ථවිර තෙමේ මුනීන්‍ද්‍රයන් වහන්ස, ඔබ වහන්සේ වඳී.
’’අනුන් පිළිබඳ කටයුතුද, තමා පිළිබඳ කටයුතුද, යන සියළු කටයුතු සිදු කළෙමි. මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙන අභය පුරය (නිවණට) පිවිසියෙමි.
’’මම කටයුතු නිමවූ ශාලාව (බුදුරජුන්හට) පරිභෝගයට දුනිමි. මැනවින් කරණ ලද එම කර්‍මය කරණකොටගෙන ශ්‍රෙෂ්ඨ බවට පැමිණියේ වෙමි.
’’යම් ඇත්, අස් ආදී (සතුන්) දමනය කරන කෙනෙක්, යම් ඇත්, අස් කෙනෙකුන් දමනය කෙරෙත්ද, නොයෙක් හිරිහැර කොට දරුණු ගුණයෙන් ඔවුන් (එසේ) දමනය කෙරෙත්.
’’මහා වීරයාණනි, ඔබ ස්ත්‍රී පුරුෂයන් මෙසේ දමනය නොකෙරෙහිය. දඬු නොගැනීමෙන්, අවි නොගැනීමෙන්, ඔවුන් උත්තම දමථයෙහි (රහත් බැව්හි) දමනය කෙරෙති.
’’දේශනා කිරීමෙහි දක්‍ෂවූ බුදුරජ තෙමේ දානයාගේ අනුසස් පවසන්නේ එක් ප්‍රශ්නයක් දෙසන්නේම තවුසන් තුන් සියයකට ධර්‍මාවබෝධය කරවීය.
’’සාරථීවු බුදුරජුන් විසින් අපි දමනය කරණ ලද්දෝ වෙමු. කෙළෙසුන්ගෙන් මැනවින් මිදුනෝ වෙමු. ආශ්‍රව රහිතයෝ වෙමු. සියළු අභිඥා බලයනට පැමිණියාහු, උපධි ශෙෂයෙහි පිරිනිවියෝ වෙමු.
’’මින් සියක් දහස්වන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන් සියළු භීතීහු ඉක්මවන ලද්දාහුය. ශාලා දානයාගේ මේ විපාකයයි.
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සෙල තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සෙලත්ථෙරස්සාපදානං දුතියං.