ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
40. පිළින්දවච්ඡ වග්ග
1. පිළින්දවච්ඡ ථෙරාපදානය
’’මම හංසවතී නගරයෙහි දොරටුපාලයෙක් වීමි. මාගේ ගෘහයෙහි රැස්කරණලද නිරවුල් අපමණ භෝග සම්පත්ද විය.
’’මමඑකල්හි පහයෙහි වාඩිවී විවේකීව හිඳ සිත පහදවා මෙසේ සිතීමි.
(චින්තනාකාරො)
’’මා විසින් භොග සම්පත්තීහු ලබන ලදහ. මාගේ අන්තො නගරය සමෘද්‍ධය. පෘථිවීශ්වරවූ ආනන්‍ද රජ තෙමේද (බුදුරජුන් ප්‍රධාන සංඝයාට දානය සඳහා) ආරාධනය කෙළේය.
’’සර්‍වඥ තෙම ලෝවැඩ සඳහා පහළවන්නේ වේ. මේ (ඒ) සර්‍වඥ තෙම ලොව පහළවිය. මාගේ භොගයොද විද්‍යමාන වෙත්. ශාස්තෘන්වහන්සේට දනක් දෙන්නෙමි.
’’පදුම නම් රාජ පුත්‍රයා විසින් බුදුරජාණන් වහන්සේ කෙරෙහි උතුම් දානයක් දෙන ලදී. (එම දානයෙහි) හස්තිරාජයන්ද, පර්‍ය්‍යඬ්කයන්ද, හේත්තුවන ඇඳිද යන බොහෝ දේ වෙයි.
’’මමද උතුම්වූ සංඝයා කෙරෙහි දනක් දුන්නෙමි. අනුන් විසින් නොදුන් විරූ (දෑ දීමෙහි) ආදි කර්මිකයෙක් වන්නෙමි.
’’යමක් පිළිබඳවූ දීමෙහි සැපවත්වූ විපාකයක් ඇද්ද, මම (ඒ විපාකයන්) නන් අයුරින් සිතා මාගේ අදහස් සපුරාලන පරිෂ්කාර දානය (මේ මේයයි) දුටිමි.
’’උතුම්වූ සංඝයා කෙරෙහි පිරිකර දෙන්නෙමි. අනුන් විසින් නොදුන් විරූ (දෑ දීමෙහි) ආදි කර්මිකයෙක් වන්නෙමි.
(දානවත්ථුසම්පාදනං)
’’එකෙණෙහි කුළු පොත්තන් (බට ලී කර්‍මාන්ත කරන්නන්) වෙත එළඹ ඡත්‍රයක් කරවීමි. (එබඳු) ඡත්‍ර ලක්‍ෂයක් එක් රැස් කෙළෙමි.
’’(එසේම) වස්ත්‍ර ලක්‍ෂයක්ද එක් රැස් කෙළෙමි. පාත්‍ර ලක්‍ෂයක්ද එක් රැස් කෙළෙමි.
’’වෑද, කුඩ, පිහියද, හිඳිකටුද, නියපොතු කපනා පිහියද ඊට සුදුසු ලෙස කරවා කුඩය යට (පැත්තෙහි) එල්බ වීමි.
’’පවන් අතුද, වටාපත්ද, මොණර පියාපත්ද, සෙමර වල්ගද, පෙරහන්කඩද, තෙල් බඳුන්ද එයට සුදුසු ලෙස කරවීමි.
’’ඉදිකටු ගුලාද, උරහිසේ එල්ලන (අංසකඩ) පටිද, එසේම හිණ බඳනා පටිද, කුඩා මේස, කනප්ප, පාත්‍ර අඩි ආදී මැනවින් ආධාරකද එයට සුදුසු ලෙස කරවීමි.
’’පරිභොගයට ගන්නා බඳුන්ද, එසේම ලොහො තලිද, බෙහෙත් (වර්‍ග) වලින් පුරවා මම ඡත්‍රය යට තැබීමි. (කිනම් බෙහෙත්ද යත්?)
’’වදකසාය, සැවැන්න (විෂ්ණුක්‍රාන්ති) මුල්ය, දඬුවෙල්බෑ මීය, පිප්පිලි නොහොත් පුලිලය, මිරිස්ය, අරළුය, හිඟුරුය යන මේ සියල්ල බඳුන්හි පිරවීමි.
’’සෙරෙප්පුද, මිරිවැඩිද, එසේම නෑමෙන් පසු දිය පිසනා දිය පිස්නාවන්ද, මැනවින් කළ සරයටිද එයට සුදුසු ලෙස කරවීමි.
’’බෙහෙත් අඳුන් නාලිකා (භාජනද), (බෙහෙත් ගෑම් ආදිය සඳහා ගන්නා) ලොහොකුරු හෝ උණ පතුරුද, දම් කොතුරු (පැන් කෙණ්ඩිය) ද, කෙසි (යතුරු) ද, පස් වර්‍ණයකින් (පාට පසකින්) වසා කළ කෙසිඟුලා හෙවත් යතුරු දමන කොපුද,
’’යමක් එල්ලා ගැනීම සඳහා උරහිසේ යොදන පටිද, දුම් (බොන) පයිප්පද, දල්වන පහන්ද නොහොත් පහන් එල්ලන කොකුද, ධාන්‍ය මැනීමට ගන්නා තිඹ නම් මිණුම්ද, කරඬුද එයට සුදුසු ලෙස කරවීමි.
’’හඩුද, කතුරුද, යලිදු මල හරනා හඬුද, බෙහෙත් දමනා පසුම්බිද, එයට සුදුසු ලෙස කරවීමි.
’’දිත්හඟලා පුටුද, කුඩා පුටුද, ඇඳි නැති (පා සතරකින් යුත්) අසුන්ද, මම එයට සුදුසු ලෙස කරවා ඡත්‍රයට තැබීමි.
’’එළු ලොම් පිරවූ ගුදිරිද, පුලුන් පිරවු ගුදිරිද, යලිදු පුටුවලට දමන ගුදිරිද, මැනවින් කරන ලද මෙට්ටද, එයට සුදුසු ලෙස කරවිය.
’’කුරුවින්‍දක පාෂාණද, මී ඉටිද, (තල) තෙල්ද, ඇඟ ඉලීමට ගන්නා පෙණද, (ඇඟ ඉලීමට ගන්නා මට කළ) ගල් පතුරුද,
’’සෙනසුන්ද, පාපිසිද, සෙනසුන්හි පරිභොගයට ගන්නා (සැරයටි ආදී) දඬුද, දැහැටිද, ආටලී නම් ද්‍රව්‍යයද, හිසෙහි ගල්වන ගන්ඩ (තෛලාදිය) ද,
’’ගිනිගානා දඬුද, පිදුරු යොදා කළ පුටුද, පාත්‍රයන් වහන පියන් හා තලිද, දිය ගන්නා පිණිස යොදන කිණිසිද, සුණු වර්‍ගද, පඬු ඔරුද,
’’(හමදනා) මුස්නුද, දිය බඳුන්ද, එසේම වැසි සළුද, හිඳිනා ඇතිරිද, වණ බඳින රෙදි පටිද, හඳනද,
’’තනිපට සිවුරු හා දෙපට සිවුරුද, නශ්‍ය කරණ ද්‍රව්‍යද, මුව දෝනා බඳුන්ද, ඇඹුල්කාඩි (විනාකිරි) ද, ලුණුද, බොහෝවූ මීද, දිහියෙන් කළ පාන වර්‍ගද,
’’දුම් අල්ලන ද්‍රව්‍යද, ඉටිද, රෙදි කැබලි (පාන්කඩ) ද, මුව පිස්නා (ලේන්සු) හා නූල් දැයි (මෙසේ) දියයුතු යමක් ඇද්ද, (ඒ) යමක් ශාස්තෘන් වහන්සේට කැපද,
’’මේ සියල්ල රැස් කරවා මහර්ෂීවූ බුදුරජුන්ගේ පියාවූ ආනන්‍ද රජු වෙත එළඹියෙමි. එළඹ, හිස නමා වැඳ, මෙම වචනය කීමි. (කෙසේද යත්?)
(දානොකාසයාචනා)
’’(අප දෙදෙන) එකට ඉපිද, එකට වැඩුනෝ වෙමු. දෙදෙනාගේ සිතද එක්වම පවතී. දෙදෙනා පිළිබඳව සුවදුක් දෙදෙනාටම සාධාරණය. (දෙදෙනාම ඔවුනොවුනට) අනුව පවත්නෝ වෙමු.
’’සතුරන් මඩනාවූ රජතුමනි, මාගේ සිතෙහි තොප අයත් හෙවත්, තොප විසින් මැඩලිය යුතු දුකක් නැත. ක්‍ෂත්‍රියයාණෙනි, ඉදින් හැකිවෙහි නම් එම දුක දුරු කරන්නෙහිය කියායි.
’’ඔබගේ දුක මගේ දුකය. දෙදෙනාගේම සිත එක් බඳුය. ඉදින් තාගේ දුක මා අයත්නම් හෙවත් මා විසින් මැඩලිය හැක්කක් නම්, එය අවසන්වීයයි දැනගනුව.
’’මහරජතුමනි, මගේ දුරුකළ නොහැකි එක් උතුම් දෙයකැයි දැනගනුව. එය කිරීමෙහි පොහොසත් වන්නේ නම් (කරන බවට) ගර්ජනය කරනු මැනවි.
’’විජිතය (පිළිබඳ) යම්තාක් දේ ඇද්ද, ඉදින් මෙකී දෙයකින් ඔබට ප්‍රයෝජන නම් කම්පා නොවූයේම (එය) දෙන්නෙමි.
’’දේවයන් වහන්ස, ඔබ විසින් (එසේ කරණ බවට) ගර්‍ජනය තරන ලදී. එබඳු බොහෝ ගර්ජිතයන් (ඇතැම් විට) බොරු වන්නේය. අද ඔබ සියළු ධර්‍මයන්හි පිහිටියෙක්දැයි දැන ගන්නෙමි’’
’’(ඇති) යමක් දෙන්නාවූ මා (ඔබ) දැඩි ලෙස පෙළන්නෙහිය. මා පෙළීමෙන් ඔබට ඇති ප්‍රයෝජනය කිම? තා විසින් පතන ලද්ද මට කියව.
’’මහරජතුමනි, මම අනුත්තරවූ බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ කැමැත්තෙමි. සම්බුදුරජුන් වළඳවන්නෙමි. ජීවිතය (බඳු) මාගේ වචනය (අන්ලෙසකින්) නොවේවා.
’’මම ඔබට අනික් වරයක් දෙමි. තථාගතයන් වහන්සේ නොඉල්ලනු මැනව. ජොතිරස නම් මැණික වැනිවූ බුදුරජ තෙම කිසිවෙකුට නොදිය යුත්තෙකි.’’
’’දෙවයන්වහන්ස, ඔබ විසින් තමාගේ ජීවිතය වුවද දෙමැයි ගර්ජනය කරන ලදුයේ නොවේද? ජීවිතය දෙන්නාහු විසින් බුදුරජුන් දීම සුදුසුය.’’
’’බුදුරජතෙම (වෙන්කොට) තැබිය යුතුය. සර්‍වඥතෙම කිසිවෙකුට නොදිය යුතු වේ. මා විසින් බුදුරජතෙම දෙමැයි පිළිවදන් නොදෙන ලදී. (අනික් කැමතිතාක්) අපමණවූ ධනය ඉල්ලනු මැනව.’’
’’අධිකරණයට පැමිණෙමු. අධිකරණයෙහිදී (කරුණු) විචාරන්නෙමු.
’’රජුන් අත් ගෙන විනිශ්චය (උසාවියට) ගියෙමි. විනිසකරුවන් ඉදිරියෙහි මෙම වචනය කීමි.’’
’’විනිසකරුවෝ මාගේ (වචනය) අසත්වා. කිසිවක් නොතබා මට රජතෙම වරයක් දුන්නේය. ජීවිතය පවා පැවරිය හෙවත් කැමතිවුවහොත් දෙන බව කීය.’’
’’මට (එසේ) වර දුන් මම බුදුරජුන් ඉල්ලීමි. මම බුදුරජතෙම මැනවින් දෙන ලද්දේ වේද, එසේ නොදෙන ලද්දේ නම් (එය වරදකැයි) මාගේ සැකයකි.
’’තාගේ වචනයද, පෘථිවිපාලකවූ රජුගේ වචනයද අසන්නෙමු. දෙදෙනාගේම වචන අසා මෙහි සැක දුරුකරන්නෙමු.’’
’’දේවයන් වහන්ස, කිසිවක් තබා නොගෙන, සියල්ලම ගතයුතු සේ කොට, (ඒ) සියල්ල ඔබ වහන්සේ විසින් මොහුට දෙන ලදද, ජීවිතය (දෙන බව කියා) පැවරීද?’’
’’(හෙතෙම) කරදරයට පැමිණියෙක්ව, උතුම් වරයක් ඉල්ලීය. අතිශයින් දුකට පත් මොහු දැන (කැමති සියල්ලක්ම දෙමැයි) සර්‍වග්‍රාහිකකොට වරයක් දුනිමි.’’
’’දෙවයන් වහන්ස, පරාජය ඔබ වහන්සේටය, බුදුරජතෙම ඔහුට දිය යුතුය. දෙදෙනාගේම සැක පසිඳන ලදී. සත්‍යයෙහි සිටිනු මැනවි.’’
’’රජතෙම එහිම සිටගෙන විනිසකරුවනට මෙය කීය. ’’මිත්‍රවරුනි, මටද තෙපි (වරයක්) දෙන්නහු නම් නැවත මම බුදුරජුන් (ආපසු) ලබමි.
’’තාගේ අදහස් සම්පූර්‍ණකොටගෙන, තථාගතයන් වළඳවා, ආනන්‍ද රජුහට නැවත (ආපසු) බුදුරජුන් දෙන්නෙහිය.’’
(නිමන්තනකථා)
’’මම විනිසකරුවනටද, රජතුමාටද වැඳ සතුටුවූයේ, ප්‍රමුදිතවූයේම බුදුරජුන් වෙත එළඹියෙමි.
’’චතුරෝඝයන් තරණය කළාවූ, ආශ්‍රව රහිතවූ සම්බුදුරජුන් වෙත එළඹ හිස නමා වැඳ මෙම වචනය කීමි.
’’පසැස් ඇත්තාණන් වහන්ස, රහතුන් ලක්‍ෂයක් දෙනා වහන්සේ සමග (මාගේ දානය) ඉවසා වදාළ මැනව. මාගේ සිත සතුටු කරමින් මාගේ නිවසට වඩිනු මැනව.’’
’’ලෝවැස්සන්ගේ පූජා සත්කාරයන් පිළිගන්නාවූ, තුන්ලොවම මැනවින් දතුවාවූ, පසැස් ඇත්තාවූ පදුමුත්තර බුදුරජ තෙම මාගේ අදහස දැන (එම ආරාධනය) ඉවසූහ.
’’(මම) ආරාධනය පිළිගත් බව දැන, ශාස්තෲන් වහන්සේට වැඳ සතුටුව ඔද වැඩි සිත් ඇත්තේ (සිය) නිවසට එළඹියෙමි.
(දානපටියාදනං)
’’(මම) මිත්‍රාමාත්‍යවරුන් රැස්කරවා මෙම වචනය කීමි. ’’ජොතිරස’’ නම් මිණිරුවන වැනි අති දුර්ලභ වස්තුවක් මා විසින් ලබන ලදී.
’’බුදුරජාණන් වහන්සේ පමණ කළ නොහැකි ගුණ ඇති සේක. උපමාවක් දැක්විය නොහැකිවූ ගුණ ඇති සේක. ලෝකයෙහි සමාන කළ හැකි කිසිදු වස්තුවක් නැති සේක. පස්මරුන් ජයගත් සේක. අප්‍රති පුද්ගල වන සේක. එම බුදුජුන්හට කුමකින් පුදන්නෙමුද?
’’එසේම එම බුදුරජාණන් වහන්සේ අසමසමයහ. අදුකියහ. නරශ්‍රේෂ්ඨයහ. මා විසින් එම බුදුරජුන්හට සුදුසුවූ පූජාවක් (කරනු ලැබීම) දුෂ්කරය.
’’නොයෙක් මල් රැස්කොට පුෂ්ප මණ්ඩපයක් කරමු. මේ සියළු පූජා බුදුරජුන්හට සුදුසු වන්නීය.
’’මම උපුල්ද, පියුම්ද, ඉද්ද මල්ද, කෝඹු මල්ද, සපු මල්ද, නා මල්ද යොදා මණ්ඩපය කරවීමි.
’’ඡත්‍රයන්ගේ සෙවනෙහි ලක්‍ෂයක් අසුන් පැණවීමි. මාගේ අන්තිම ආසනය සියයකට වඩා අගනේය.
’’මම ඡත්‍රයන්ගේ සෙවෙනෙහි ලක්‍ෂයක් අසුන් පැනවීමි. ආහාර පානද පිළියෙළ කරවා (සුදුසු) කළැයි දැන්වීමි.
’’කාලය ආරෝචනය කළ කල්හි පදුමුත්තර බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමග මාගේ නිවසට එළඹි සේක.
’’ඡත්‍රය මතුයෙහි දරණ, මැනවින් පිපුණු මල් (එල්ලා) ඇති බැවින් පුෂ්ප මණ්ඩපයක්වූ එහි පුරුෂොත්තමවූ බුදුරජතෙම ලක්‍ෂයක් රහතුන් සමග වැඩහුන් සේක.
’’ඡත්‍ර ලක්‍ෂයකි. (එහි පැණවූ) අසුන් ලක්‍ෂයකි. බුදුරජාණන් වහන්ස, (මේවා) කැපය, නිවරදය, පිළිගනු මැනවි.
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, ඒ මහා මුනිවූ පදුමුත්තර බුදුරජතෙම මා (සසර සයුරින්) එතර කරනු කැමැත්තේ (එය) පිළිගත් සේක.
(දානකථා)
’’මම එක එක භික්‍ෂුවට වෙන වෙනම පාත්‍ර දුනිමි. පළමුවෙන් තිබුණු පාත්‍ර ඉවත්කොට හැරියාහුය. (හැම දෙනා වහන්සේම) ලෝහ පාත්‍ර දැරුවාහුය.
’’බුදුරජතෙම දිවා රෑ සතක් පුෂ්ප මණ්ඩයෙහි වැඩ හුන් සේක. බොහෝ සත්නට දහම් අවබෝධ කරවමින් දම්සක් පැවැත්වූ සේක.
’’පුෂ්ප මණ්ඩපය යට දම්සක් පවත්වන කල්හි අසූහාරදහසක් ප්‍රාණීන්හට ධර්‍මාභිසමය විය.
’’සත්වැනි දින පැමිණි කල්හි පදුමුත්තර බුදුරජ තෙම ඡත්‍රච්ඡායාවෙහි (කුඩය සෙවෙනෙහි) වැඩහුන්නේ මෙම ගාථාවන් වදාළ සේක. (කෙසේද යත්?)
(බ්‍යාකරණං)
’’යම් මානවකයෙක් තෙම (කිසිවකින්) නොඅඩුවූ උතුම් දානයක් දුන්නේද, මම හේ (කවරෙක්දැයි) කියන්නෙමි. (එය) කියන්නාවූ මාගේ (වචනය) අසව්.
’’ඇත්තුද, අශ්වයෝද, රියද, පාබල සෙනගද යන සිව්රඟ සෙනග මොහු නිතර පිරිවරන්නාහුය. සර්‍ව දානයාගේ (සියල්ල දීමෙහි) මේ විපාකයයි.
’’හස්තියානය, අශ්වයානය, පල්ලැක්කි (දෝලා) ය, සන්‍දමානික නම් යානය යන මෙකී යානයෝ නිරතුරුවම මොහු වෙත එළඹ සිටිත්. සර්‍වදානයාගේ මේ විපාකයයි.
’’සියළු ආභරණයන්ගෙන් සරසන ලද සැට දහසක් රථයෝ නිරතුරුව මොහු පිරිවරන්නාහුය. සර්‍වදානයාගේ මේ විපාකයයි.
’’සැට දහසක් තූර්‍ය්‍යයෝද, මැනවින් අලංකාර කරණ ලද භෙරීහුද, මොහුට නිරතුරු වාදනය කරන්නාහුය. සර්‍වදානයාගේ මේ විපාකයයි.
’’මැනවින් අලංකාර කරණ ලද සයානූදහසක් ස්ත්‍රීහු විසිතුරු වස්ත්‍රාභරණ ඇත්තාහු, පළඳින ලද මිණි කොඬොල් ඇත්තාහු, සිනා සහිත වූවාහු, මැනවින් හැඳින්විය යුතු ශරීරාවයව ඇත්තාහු, සිහින් කටී ප්‍රදේශ ඇත්තාහු නිරතුරුවම මොහු පිරිවරන්නාහුය. සර්‍වදානයාගේ මේ විපාකයයි.
’’කප් තිස් දහසක් කල් මුළුල්ලෙහි දෙව්ලොව සිත් අලවා වසන්නේය. දහස් වරක් දේවේන්‍ද්‍ර දිව්‍ය රාජ්‍යය කරන්නේය.
’’දහස් වරක් සක්විති රජ වන්නේය. (කරවනු ලබන) මහත්වූ ප්‍රදේශ රාජ්‍යය ගණන් වශයෙන් (මෙපමණයයි) ගිණිය නොහැකිය.
’’පුණ්‍ය කර්‍මයාගේ (විපාකය හා) යෙදී දෙව්ලොව වසන්නාවූ මොහුට දෙව්ලොව කෙළවරකොට රුවන් සැතක් (ස්වර්‍ණමය කුඩයක්) දරන්නේය.
’’යම් කලෙක රෙදි මල්වලින් සෑදූ මහලක්ද, (එයින් වැටෙන) සෙවනක්ද කැමති වන්නේ නම් (එකල්හි) මොහුගේ සිත දැන (මෙන්) නිරතුරුව සෙවන කරන්නේය.
’’කුශල මූලයෙන් මෙහෙයන ලද්දේ, දෙව්ලොවින් චුතව පුණ්‍යකර්‍ම විපාකය හා යෙදුනේ බ්‍රාහ්මණයෙක් වන්නේය.
’’මින් කල්ප ලක්‍ෂයකින් මතුයෙහි ඔක්කාක කුලයෙහි උපදිනා ගොත්‍රයෙන් ගෞතම නම් වූ ශාස්තෘතෙමේ ලොව පහළ වන්නේය.
’’ශාක්‍ය කුල ශ්‍රේෂ්ඨවූ ගෙෘතම බුදුරජතෙමේ සියල්ල දැන භික්‍ෂු සංඝයා මැද වැඩ හිඳ (මොහු) එතදග්‍රස්ථානයෙහි තබන්නාහ.
’’දෙවියන් විසින්ද, අසුරයන් විසින්ද, ගාන්‍ධර්‍වයන් විසින්ද සත්කාර කරණ ලද පිළින්දිවච්ඡ නම් බුද්ධ ශ්‍රාවකයෙක් වන්නේය.
’’එසේම හෙතෙම භික්‍ෂූන්හටද, භික්‍ෂුණීන්හටද (යන) සියල්ලනට ප්‍රියව, ආශ්‍රව රහිතව වාසය කරන්නේය’’ කියායි.
(දානානිසංසකථා)
’’මින් සියක් දහස්වන කපෙහි කරන ලද කර්‍මයා (ගේ) විපාකය මට මෙහිදී දැක්වීය. දුනු දියෙන් මිදුනු හී වේගය මෙන් කෙළෙස් දවන්නේය.
’’නිරුත්තරවූ පුණ්‍යක්‍ෂෙත්‍රයෙහි මා විසින් මැනවින් කරණ ලද පුණ්‍යකර්‍මය ආශ්චර්‍ය්‍යයි. යම් පින් කෙතෙක පින්කම් කොට අචලවූ නිර්‍වාණ පදයට පැමිණියේ වෙම්ද, එහෙයිනි.
’’යම් මානවකයෙක් තෙම කිසිවකින් නොඅඩුවූ උතුම් දනක් දුන්නේද, පළමුකොටම (එහි) ප්‍රමුඛයා වූයේද, එම දානයාගේ මේ විපාකයයි.
(1. ඡත්තානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද ඡත්‍රයන් පුදා, මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් අටක් අනුභව කරමි.
’’ශීත හෝ ඌෂ්ණය හෝ නොදනිමි. දැළි කුණු නොතැවරේ. උවදුරු විපත් නැතිවේ. හැම කල්හි පුදන ලද්දෙක් වෙමි.
’’සියුම් සිවි ඇත්තේ වෙමි. සිත පිරිසිදුවේ. භවයෙහි සැරිසරන්නාවූ මට මෙම ජාතිය හැර අනික් හැම ජාතියකදීම එම කර්‍මයාගේ බලයෙන් සියළු අලංකාරයන්ගෙන් යුක්තවූ විසි දහස් ගණන් කුඩ මාගේ හිසට දරත්.
’’මේ ජාතියේ මාගේ ඡත්‍රධාරණයක් (කුඩ දැරීමක්) නැත්තේ මන්ද? මා විසින් කරණ ලද සියළු කර්‍මය විමුක්ති ඡත්‍ර ලාභයට (නිවන් ලැබීමට) හේතුවූ බැවිනි.
(2. දුස්සානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද වස්ත්‍ර දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් අනුභව කරමි.
’’ස්වර්‍ණ වර්‍ණ වූයේ, රජස් රහිත වූයේ, ප්‍රභා සහිත වූයේ, ප්‍රතාපවත් වූයේ භවයෙහි සැරිසරන්නාවූ මාගේ සිරුර සිනිඳු වේ.
’’සුදුවන්වූද, කහවන් වූද, ලෙහෙවන් වූද සිය දහස් වස්ත්‍රයෝ මාගේ මස්තකයෙහි (හිසට) දරත්. වස්ත්‍ර දානයාගේ මේ විපාකයයි.
’’කොසෙය්‍ය වස්ත්‍රය, කම්බල නම් වස්ත්‍රය, කොමු පිලිය, කපු පිලිය යන මේ වස්ත්‍ර එම කර්‍මයන්ගේ ඵලයෙන් මම සියළු තන්හිදී ලබමි.
(3. පත්තානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද පාත්‍රදී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි.
’’රන්තලිද, මිණිතලිද, රිදීතලිද, පියුමරාමිණිමුවා තලිද, හැම කල්හි පරිභෝග කරමි.
’’උවදුරු රහිතවූයේ, විපත් රහිතවූයේ, හැම කල්හි (සියල්ලන් විසින්) පුදන ලදුයේ වෙමි. ආහාරපාන, වස්ත්‍ර, සයනාසන ලබන්නෙක්ද වෙමි.
’’මාගේ භෝගයෝ විනාශ නොවෙත්. මම නැවතුනාවූ සිත් ඇත්තේ වෙමි. හැම කල්හි ධර්‍මය කැමති වෙමි. කෙලෙස් නැතිවූයේ, ආශ්‍රව රහිතද වෙමි.
’’දෙව් ලොවෙහිද, මිනිස් ලොවෙහිද මෙකී ගුණයෝ මා අනුවම ගියාහුය. ගසේ සෙවන (ගස නොහරින්නාක්) මෙනි. සියළු තන්හිදී මා අතහැර නොදමන්නාහුය.
(4. වාසිආනිසංසො)
’’මම විසිතුරු බන්‍ධනයන්ගෙන් බඳනා ලද මැනවින් කළ බොහෝ දැලිපිහිද බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේට හා එසේම සංඝයාටද පුදා
’’සූරවූයේ, කලබල නොවූයේ, විශාරද බැව්හි කෙළ පැමිණියේ වෙමි. හැම කල්හි (කෙළෙස් වසඟව යා නොදී) දැඩිකොට ගත් සිත් ඇත්තේ, නුවණැත්තේ වීර්‍ය්‍යවත්ද වෙමි.
’’මම සියුම්වූ, අවමානවූ, පිරිසිදුවූ කෙළෙස් සිඳීමේ නුවණද එම පුණ්‍යකර්‍ම බලයෙන් හැමතන්හිදී ලබමි.
(5. සත්ථකානිසංසො)
’’පහන් සිත් ඇත්තේ, බුදුරජුන් කෙරෙහිද, සංඝයා කෙරෙහිද කොරොස් නොවූ, රළු නොවූ, මැනවින් දෙවූ බොහෝ ආයුධ දී එසේම,
’’මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි. (එනම්) කල්‍යාණ චිත්තයද, වීර්‍ය්‍යයද, ක්‍ෂාන්තියද, මෛත්‍රී ශාස්ත්‍රයද, තෘෂ්ණා හුල සිඳින ලද බැවින් වජ්‍රායුධය හා සමාන අනුත්තර නුවණවූ ප්‍රඥා ශස්ත්‍රය (ප්‍රඥා ආයුධය) ද එම කුශලකර්‍ම බලයෙන් ලබන්නේය.
’’බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද හිඳි (කටු) දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.
’’කුදු මහත් භවයෙහි සැරිසරන්නේ, හැම කල්හි සැක නැත්තේ, කුකුස් සිඳින්නේ, මනා රූ ඇත්තේ, භොග සම්පත් ඇත්තේ, තියුණු පැණවත්වූයේ වෙමි.
’’ගැඹුරුවූද, සියුම්වූද තැන් හා අරුත් නුවණින් දුටුවෙමි. මාගේ මොහඳුරු නසන්නානවූ විදුරු අගක් මෙන් (සියුම්) නුවණද වේ.
(7. නඛච්ඡෙදනානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද, ගණ ප්‍රධානවූ සංඝයා කෙරෙහිද නිය කපන කුඩා පිහි (ආයුධ) දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.
’’බොහෝ දාසි දාසයන්ද, ගව අශ්වයන්ද, බැලමෙහෙ කරන්නන්ද, ආරක්‍ෂකයන්ද, රවුළු බාන්නන්ද, (ඉසකෙස් කපන්නන්), බත් පිළියෙළ කරන්නන්ද, (සූප වර්‍ග පිළියෙළ කරණ) අරක්කැමියන්ද මම භවයෙහි සියළු තැන්හිදී ලබමි.
(8. විධූපනතාලවණ්ටානිසංසො)
’’ශොභනවූ, (චිත්‍ර ලෙස කළ) විජිනිපත්ද, (තල්කොළයෙන් කළ) වටාපත්ද, බුදුරජුන් කෙරෙහිද, (උතුම් සඟ ගණ කෙරෙහිද), දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් අටක් අනුභව කරමි.
’’ශීතෝෂ්ණ නොදනිමි. (සිරුරෙහි හොා් සිතෙහි) දාහයක් නැත. මාගේ කාය චිත්ත සන්තාපයක් නොදනිමි.
’’මාගේ ඒ කුශල කර්‍මයාගේ විපාකයෙන් රාගාග්නිය, ද්වේෂාග්නිය, මානාග්නිය, දෘෂ්ඨි අග්නිය යන සියළු අග්නීහු නිවී ගියාහුය.
(9. මොරහත්ථ-චාමරං)
’’මොණර පියාපත්ද, සෙමෙර වලිගද, බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟ ගණ කෙරෙහි දී, මම කෙළෙස් රහිතව, සන්සිඳුනු කෙළෙස් ඇත්තේව වෙසෙමි.
(10. පරිස්සාවන-ධම්මකරං)
’’පෙරහනද, ධර්‍ම කරක නම්වූ පැන් පෙරහනද බුදුරජුන් කෙරෙහි හා උතුම් සඟ ගණ කෙරෙහි දී මාගේ කර්‍මයට සුදුසුවූ පඤ්චානිශංසයක් අනුභව කරමි.
’’මම (සෙසු) සියල්ලන්ගේ ආයුෂ ඉක්මවා දිව්‍යමය ආයුෂ ලබමි. හැම කල්හි සොරුන් විසින් හෝ බලයෙන් පැහැරගෙන යුත්තෙක් නොවෙමි.
’’අවියකින් හෝ, විසයකින් හෝ වෙසෙසකුදු නොකෙරේ. එම පුණ්‍ය විපාකයෙන් මාගේ (නියමිත ආයුෂ නොගෙවී) අතරතුර මරණයකුදු නැත.
(11. තෙලධාරානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද තෙල් ගුලාවන් දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.
’’මනහර රූ ඇත්තේ, (එබඳුවූ) මනොඥ හඬ ඇත්තේ, මැනවින් උසස්වූ (සමාධියෙන් යුත්) සිත් ඇත්තේ, නොකැළඹුණු සිත් ඇත්තේ, සියළු ආරක්‍ෂකයින් විසින් රක්නා ලද්දෙක් වෙමි.
(12. සූචිඝරානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ගුලාවන් දී මාගේ කර්‍මයට සුදුසු අනුසස් තුණක් අනුභව කරමි.
’’චිත්ත සුඛයද, කාය සුඛයද, ඉරියව්වලින් හටගත් සුවයද යන මේ ත්‍රිවිධ ගුණයන් (සුව) එම ගුණ්‍ය ඵලයෙන් මම ලබමි.
(13. අංසබද්ධානිසංසො)
’’චෙතොපරිය ගුණය හෙවත් පෙර ජාතීන් දක්නා නුවණ ලබමි. දෙවෙනි භවයද සිහි කරමි. එම පුණ්‍ය ඵලයෙන් සියළු භවයෙහිදීම මනා සිවි ඇත්තේ වෙමි.
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද කාය බන්‍ධනයන් හෙවත් පටි දී මාගේ කර්‍මයට සුදුසු අනුසස් සයක් ලබමි.
’’සමාධින්හි කම්පා නොවෙමි. එසේම සමාධීන්හි වර්‍ග වෙමි. නොබෙදුනු පිරිස් ඇත්තේ වෙමි. හැමකල්හි අනුන් විසින් පිළිගතයුතු වචන ඇත්තේ වෙමි.
’’එළඹ සිටි සිහි ඇත්තේ වෙමි. මට තැති ගැන්මක් නැත. මේ ගුණයෝ දෙව්ලොවෙහි වුවද, මිණිස් ලොවෙහි වුවද (මා) අනුවම එති.
(15. ආධාරකානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද (පත්තාධාරකාදී භාණ්ඩ තබන) ආධාරකයන් දී පස් අයුරකින් (ලබන ලද) දායාද ඇත්තේ හෙවත් අනුසස් පසක් ලබන ලද්දේ වෙමි. (එනම්) කිසිවකින් කම්පා නොවෙමි. මා විසින් අසන ලද යම්කිසි ධර්‍ම කෙනෙක් වෙත්ද, ඒ ධර්‍මයෝ සිහිය හා නුවණ පොබයන්නෝ වෙති. සිත්හි ලා දරණ ලද්ද (හෙවත් පාඩම් කළ දෙය) නොවැනසේ. එම සිත්හි ලා දරණ ලද ධර්‍මයෝ මැනවින් තීරණය කරණ ලද්දාහුද වෙති.
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පරිභෝග භාජනයක් දී එම කර්මයට සුදුසුවූ අනුසස් තුණක් අනුභව කරමි.
’’මම රුවන් මුවාවූද, මිණිමුවාවූද, යලි පිළිමිණිමුවාවූද, පියුම්රාමිණිමුවාවූද බඳුන් ලබමි.
’’භාර්‍ය්‍යාවෝද, දාසිදාසයෝද, හස්ති අශ්ව රථ පාබල සෙනගද, පතිවෘතා ස්ත්‍රීහුද හැම කල්හි පරිභෝග වස්තූහු වෙත්.
විද්‍යාවන්ටද, මන්ත්‍රපදයනටද, විවිධවූ ආගම් ධර්‍මයනටද, සියළු ශිල්පයනටද කන් යොමු කරමි. ඒවා හැම කල්හි ස්වකීය පරිභොගය සඳහා වූවෝ වෙත්.
(17. ථාලකානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද තලි දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් තුනක් අනුභව කරමි.
’’රුවන් මුවාවූද, මිණිමුවාවූද, යලි පිළිමිණිමුවාවූද, පියුම්රාමිණිමුවාවූද තලි (මම) ලබමි.
’’එලවන් ඇසතුද, යලි පොකුරුපන්ද, මිහි බොන සක්ද යන තලි (මම) ලබමි.
’’වත්සපන්වූ, ගුණවත්වූ, ප්‍රතිපත්ති ඇති ආචාර ක්‍රියාවන්හිද නිපුණු මෙබඳු ගුණ එම පුණ්‍ය කර්‍ම බලයෙන් මම ලබන්නෙමි.
(18. භෙසජ්ජානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද බෙහෙත් දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි.
’’ආයුෂඇත්තේ, බලවත්වූයේ, චිරගුණ ඇත්තේ, වර්‍ණවත්වූයේ, කීර්තිමත්වූයේ, සැප ඇත්තේ, උවදුරු රහිතවූයේ, හැම කල්හි (අනුන් විසින්) පුදන ලදුයේ වෙමි. එම පුණ්‍ය කර්‍මයාගේ ඵලයෙන් මට ප්‍රිය විප්‍රයෝග දුකක් නැත.
(19. උපාහනානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පාවහන් දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් තුණක් අනුභව කරමි.
’’හස්ති අශ්ව යානද, සිවිකා (දෝලා) සන්‍දමානික යන යානයෝද, සැට ලක්‍ෂයක් මා හැමකල්හිම පිරිවරත්.
’’භවයෙහි සැරිසරන්නාවූ මට පියවරක් පාසා මැණික්වලින් කරණ ලද්දාවූද, රුවණින් කරණ ලද්දාවූද (පාවහන්) නිපදිත්.
’’නියම කළ දෙය කරා දුවත්. ආචාර ගුණ ශෝධනය කෙරෙත්. එම පුණ්‍ය ඵලයෙන් මම මෙම ගුණ ලබන්නෙමි.
(20. පාදුකානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද මිරිමැඩ දී කැමති තාක් කල් ඎද්‍ධිමය මිරිවැඩි නැගී වෙසෙමි.
(21. උදකපුඤ්ඡනානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද දිය පිස්නාකඩ දී මාගේ කර්‍මයට සුදුසුවූ පස් අනුසයක් ලබමි.
’’මගේ සිරුර ස්වර්‍ණ වර්‍ණ වූයේ, රජස් රහිත වූයේ, ප්‍රභා සහිත වූයේ, සිනිඳුද වේ. දැළි කුණු නොතැවරේ. එම පුණ්‍ය බලයෙන් මම මෙම ගුණ ලබමි.
(22. කත්තරදණ්ඩානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද සරයටි දී මාගේ කර්‍මයට සුදුසුවූ අනුසස් සයක් ලබමි.
’’මට බොහෝ පුත්‍රයෝ වෙත්. මාගේ තැති ගැනීමක් නැත. සියළු ආරක්‍ෂයන් විසින් රක්නා ලදුයේ, හැම කල්හි බලාත්කාරයෙන් නොපැහැර ගන්නා ලද්දෙක් වෙමි. මාගේ පැකිලීමක් නොදනිමි. මාගේ සිත්හි තැති ගැනිමක්ද නැත.
(23. ඔසධඤ්ජනානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද මාගේ එම කර්‍මයනට සුදුසුවූ අනුසස් අටක් අනුභව කරමි.
’’සුදුවූද, කහවන්වූද, ලෙහෙවන්වූද, සියළු රෝගයන්ගෙන් වූද, නොකැලන් පහන් ඇස් ඇත්තේ, විසල්වූ ඇස් ඇත්තේද වෙමි.
’’දිවැසද, අනුත්තරවූ පැණැසද ලබමි. මම එම පුණ්‍ය ඵලයෙන් මෙම ගුණ ලබමි.
(24. කුඤ්චිකානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද යතුරු දී දහම් දොර හරවා නුවණ නමැති යතුරුද ලබමි.
(25. කුඤ්චිකාඝරානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද යතුරු දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් දෙකක් අනුභව කරමි. මම රහිතවූයේ, භවයෙහි සැරිසරන්නේ, ස්වල්පවූ ක්‍රොධ ඇත්තේ ආයාස වෙමි.
(26. ආයොගානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද අංසයෙහි ලන පසුම්බි දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.
’’සමාධීන්හි කම්පා නොවෙමි. සමාධීන්හි වසඟව වෙසෙමි. නොබිඳෙන පිරිස් ඇත්තේ වෙමි. හැමකල්හි පිළිගතයුතු වචන ඇත්තේ ද වේ. භවයෙහි සැරිසරන්නාවූ මට භෝග සම්පත් හටගනී.
(27. ධූමනෙත්තානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද දුම් පයිප්ප දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් තුණක් අනුභව කරමි.
’’මාගේ සිහිය ඎජුවේ. මැනවින් සම්බන්‍ධවූ නහර ඇත්තේද වේ. එම පුණ්‍ය ඵලයෙන් මම දිවැස් ලබමි.
(28. දීපධාරානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පහන් මිල දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් තුණක් අනුභව කරමි.
’’ජාතිමත්වූයේ, සම්පූර්‍ණවූ ශරීරාවයව ඇත්තේ, ප්‍රඥාවත්වූයේ, බුද්ධිමත්යයි සම්මතවූයේ, එම පුණ්‍ය බලයෙන් මෙම ගුණ ලබමි.
(29. තුම්බක-කරණ්ඩො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද (ධාන්‍යමාන) බඳුන්ද, කරඬුද දී මාගේ එම කර්‍මයට සුදුසු අනුසස් දසයක් ලබමි.
’’හැමකල්හි ආරක්‍ෂා සහිත වූයේ, සැපයෙන් යුක්තවූයේ, මහත්වූ කීර්ති ඇත්තේ, මනා ගති ඇත්තේ, විපත්තීන්ගෙන් වෙන්වූයේ, සියුමැලිවූයේ, සියළු උවදුරු බැහැර කරණ ලදුයේ,
’’මහත් ගුණ ලාභීවූයේ, සමවූ හැසිරීම් ඇත්තේ, මාගේ මැනවින් බැහැරකළ උද්වේගය (චඤ්චල ගතිය) ද ඇත්තේ, ධාන්‍ය මිණුම්ද, කරඬුද, හස්ත්‍ය අශ්වාදී සිව්රඟ සෙනගද ලබමි. මාගේ එම සම්පත් විනාශ නොවේ. තුම්බ නම්වූ ධාන්‍ය මාන භාජන දානයෙහි මේ විපාකයයි.
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද අඳුන් (බේත්) ගුළා දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් පසක් අනුභව කරමි.
’’සියළු ලක්‍ෂණයන්ගෙන් යුක්තවූයේ, ආයුෂින් හා ප්‍රඥාවෙන්ද යුතුවූයේ මාගේ හැම කල්හි සියළු ආයාසයන්ගෙන් වෙන්වූ කයද ඇත්තේ වේ.
(31. පිප්ඵලානිසංසො)
’’මුවහත්වූ කතුරු බුදුරජුන් කෙරෙහිද උතුම් සඟගණ කෙරෙහිද දී කෙළෙස් සිඳින්නාවූ, පිරිසිදුවූ, අතුල්‍යවූ නුවණ ලබමි.
(32. භණ්ඩාසානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද හඬු දී අතුල්‍යවූ, පිරිසිදුවූ කෙළෙස් සිඳුනා නුවණ ලබමි.
(33. නත්ථුකානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද නශ්‍ය ද්‍රව්‍යාදියෙන් මාගේ එම කර්මයට සුදුසුවූ අට අනුසයක් ලබමි.
’’ශ්‍රද්‍ධාවද, ශීලයද, ලජ්ජාවද, භයද, ශ්‍රුතයද, ත්‍යාගයද, ක්‍ෂාන්තියද, ප්‍රඥාවද මාගේ අටවැනි ගුණයයි.
(34. පීඨකානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පුටු දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි.
’’මම උසස් කුලයෙහි උපදිමි. මහත් භෝග ඇත්තෙක් වෙමි. සියල්ලෝ මට ගරු බුහුමන් කෙරෙත්. මාගේ කීර්ති තොමෝ උසස්ව පැන නැංගාහ.
’’කල්ප සිය දහස් වර සිව්රැස් පර්‍ය්‍යඞ්කයෝ නිතර මා පිරිවරත්. මම දාන සංවිභාගයෙහි දන් (බෙදීමෙහි) යෙදුනේද වෙමි.
(35. භිසිආනිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ගුදිරි දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් සයක් අනුභව කරමි.
’’සමවූ සිරුරු ඇත්තේ වෙමි. (බොහෝ දෙනා විසින්) ගරු බුහුමන් කරන ලදුයේ වෙමි. මෘදු සිරුරු ඇත්තේ වෙමි. මනහර දැකුම් ඇත්තේ වෙමි. නැණවත් පිරිවරද ලබමි. ගුදිරි දනෙහි මේ විපාකයයි.
’’මම පුළුන් පිරවූ මෙට්ටද, සිංහාදීන්ගේ රූ ඇති පලස්ද, මැණික් ඇල්ලූ පට වස්ත්‍රද, දීමෙන් විසිතුරු එළු ලොම් ඇතිරිද, නියදින් කළ උතුම් වස්ත්‍රද, නානාවිධ කම්බලද ලබමි.
’’මොලොක් උතුරු සළුද, මෘදු ඇඳුම් දිවිසම්ද, නොයෙක් ඇතිරිලිද ලබමි. ගුදිරි දනෙහි මේ විපාකයයි.
’’යම් කලක පටන් තමා පිළිබඳව සිතම්ද, යම් කලක පටන් නුවණැති බවට පැමිණියේ වෙම්ද, (එතැන් පටන්ම) නොසිස්වූ ධ්‍යාන නමැති මඤ්චය ඇත්තේ හෙවත් ධ්‍යාන ලාභීවූයේ වෙමි. භිසි දානයාගේ (ගුදිරි දනෙහි) මේ විපාකයයි.
(36. බිබ්බොහනානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද බුමුතුරුණු (කොට්ට) දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් හයක් අනුභව කරමි.
’’එළු ලොම් ආදිය පිරෙව්වාවූද, පඤචාකාර මැහුම් ගෙත්තම් ඇත්තාවූද, ලෙහෙසියෙන්ම සඳුන් සුවඳ හමන්නාවූද, බිම්බොහනා (කොට්ට) හැමකල්හි මාගේ හිස තබමි.
’’උතුම් ආර්‍ය්‍ය අෂ්ඨාංගීක මාර්ගයෙහිද, චතුර් ශ්‍රමණ්‍ය ඵලයෙහිද, යන එම ධර්‍මයන් කෙරෙහි නුවණ මෙහෙයා හැම කල්හි වෙසෙමි.
’’දීමෙහිද, (කාය චිත්ත) දමනයෙහිද, සංයමයෙ (සන්හුන් බැව්) හිද, අප්‍රමාණ්‍ය ධර්‍ම (සිව් බඹ විහරණ) කෙරෙහිද, රූපාවචර ධ්‍යානයන්හිද, යන එකී ධර්‍මයන් කෙරෙහි නුවණ මෙහෙයා හැම කල්හි වෙසෙමි.
’’මම වත්සපන් ගුණයෙහිද, ප්‍රතිපත්තීන්හි හා ආචාර ක්‍රියාවන්හිද නුවණ උපදවා හැම කල්හි වෙසෙමි.
’’සක්මණෙහිද, පදහන් විරියෙහිද, බෝපැකි දහම්හිද යන එකී ධර්‍මයන්හි නුවණ උපදවා කැමැතිසේ වෙසෙමි.
’’අනුත්තරවූ ශීලය, සමාධිය, ප්‍රඥාවය, විමුක්තිය යන එකී දහම්හි නුවණ මෙහෙයා මම සුවසේ වෙසෙමි.
(37. ඵලපීඨානිසංසො)
’’පිදුරු යොදා කළ පුටු බුදුරජුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද දී මාගේ එම කර්‍මයට සුදුසු අනුසස් දෙකක් ලබමි.
’’රන්මුවාවූද, මිණිමුවාවූද, දළමුවාවූද, හරමුවාවූද බොහෝ උතුම් පර්‍ය්‍යඞ්කයන් ලබමි. පලාලපීඨ දානයාගේ මේ විපාකයයි.
(38. පාදපීඨානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද පා පුටු දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් දෙකක් ලබමි.
’’බොහෝ යානයන් ලබමි. පා පුටු දනෙහි මේද විපාකයකි. දැසිදස්යෝද, බිරියෝද, අනික් අනු ජීවීහුද, මට මැනවින් පරිවරණය කෙරෙත්. මේද පාපුටු දනෙහි විපාකයයි.
(39. තෙලබ්භඤ්ජනානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ඇඟ ගල්වන තෙල් දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි.
’’මාගේ නීරෝගී බවද, රූමත් බවද, වහා ධර්‍මය වැටහෙන බවද, ආහාර පාන ලාභී බවද, ආයු පඤචකයද (ආයු - වර්‍ණ - සැප - බල - ප්‍රඥා) ද ලබමි.
(40. සප්පිතෙලානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ගිතෙල් දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි.
’’හැමකල්හි පිනාගිය සිරුරින් හටගත් බලය ඇත්තේ, රූමත්වූයේ, නීරෝගීවූයේ, පැහැදුනු (ප්‍රකට) කෙනෙක් වෙමි. ගිතෙල් දනෙහි මේ විපාකයයි.
(41. මුඛසොධනකානිසංසො)
’’මුවදෝනාව (බඳුන) ක් බුදුරජුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද දී, මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් පසක් ලබමි.
’’පිරිසිදු කණ්ඨය (උගුර) ඇත්තේ, මිහිරි ස්වර ඇත්තේ, කාස ස්වාසාදියෙන් තොරවූයේ, හැමකල්හි මාගේ මුවින් උපුල් මල් සුවඳ විහිදේ.
(42. දධිආනිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද, උතුම් සඟ ගණ කෙරෙහිද, සමෘද්‍ධවූ දිහි දී, උතුම්වූ කායගතා සති සංඛ්‍යාත අමෘත ධනය අනුභව කරමි.
(43. මධුආනිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද වර්‍ණ, ගන්‍ධ, රසයන්ගෙන් යුක්තවීද, මම උපමාවක් කිය නොහැකි අතුල්‍යවූ විමුක්ති රසය පානය කරමි.
(44.රසානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ඇති අයුරුවූ රසවත් දැය දී මාගේ එම කර්මයට සුදුසුවූ (සෝවාන් ආදී සිව්) ඵලයන් අනුභව කරමි.
(45. අන්නපානානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද ආහාර පාන දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් දසයක් අනුභව කරමි.
’’මම ආයු ඇත්තේ, බල ඇත්තේ, නුවණැත්තේ, වර්‍ණවත්වූයේ, පැණවත්වූයේ, හැම කල්හි භවයෙහි සැරිසරන්නේ මෙම ගුණ ලබමි.
(46. ධූපානිසංසො)
’’බුදුරජුන් කෙරෙහිද උතුම් සඟ ගණ කෙරෙහිද සුවඳ දී මාගේ එම කර්මයට සුදුසුවූ අනුසස් දසයක් ලබමි.
’’මම කුදු මහත් වනයෙහි සැරිසරන්නේ, සුවඳවත් සිරුරු ඇත්තේ, කීර්තිමත්වූයේ, යශස් ඇත්තේ, සීඝ්‍ර තීක්‍ෂණ භූරි හාසු ගම්භීර ප්‍රඥා ඇත්තේ, විපුලවූ ජවන ප්‍රඥා ඇත්තේද වෙමි. එම පුණ්‍ය කර්ම බලයෙන්ම දැන් ශිවවූ ශාන්ති සුඛයටද පැමිණියේ වෙමි.
(සාධාරණානිසංසො)
’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.
’’මා විසින් ක්ලේශයන් දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. හස්ති රාජයකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.
’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පිළින්දිවච්ඡ තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පිලින්දවච්ඡත්ථෙරස්සාපදානං පඨමං.