ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
39. අවණ්ටඵලදායක වග්ග
10. පුබ්බකම්බ පිලොතිකා ථෙරාපදානය
’’අනවතප්ත මහවිල් තෙරෙදී පැන විචාරණ ලද සොණකොටිවිස ස්ථවිර තෙමේ බික් සඟන ඉදිරියෙහි (එය) විසඳීය.
’’නොයෙක් රත්නයන්ගෙන් බබලන නානාවිධ සුගන්‍ධ පුෂ්පයන්ගෙන් ගැවසීගත් (හිමාලය) වනයෙහි අනවතප්ත විල සමීපයෙහි වූ සිත්කළු ගල් තලාවක මහත්වූ භික්‍ෂු සංඝයා විසින් පිරිවරන ලද බුදුරජාණන් වහන්සේ වැඩහුන් සේක් එහිදී තමන් වහන්සේගේ පූර්‍වකර්‍මය ප්‍රකාශ කළ සේක.
’’මහණෙනි, මා විසින් යම් කර්‍මයක් කරන ලදද (මාගේ ඒ කර්‍මය අසව) විපාකාවශේෂ කර්‍මය බුදු බැව් ලැබූ කල්හිද විපාක දේ.
’’පෙර මම අප්‍රකටවූ (ශුද්‍ර) ජාතියකට අයත් මුනාළී නම් ධූර්‍තයෙක් වීමි. (එකල්හි) ක්ලේශයන්ගෙන් දූෂ්‍ය නොවූ සරභූ නම් පසේ බුදුන් වහන්සේට නින්දාකොට බැන්නෙමි.
’’එම (අකුශල) කර්‍ම විපාකයෙන් නිරයෙහි බොහෝ කලක් හැසුරුනිමි. බොහෝ දහස් ගණන් අවුරුදු දුක් වේදනා වින්දෙමි.
’’එම කර්‍මයාගේ අවශේෂ විපාක වශයෙන් මේ අන්තිම භවයෙහි සුන්‍දරිකා නම් පරිබ්‍රාජිකාව නිමිතිකොට මා විසින් නින්දා අපහාස වචන ලබන ලදී.
’’සබ්බාභිභූ නම් බුදුරජුන්ගේ නන්‍ද නම් ශ්‍රාවකයෙක් විය. උන්වහන්සේට නින්දා කොට මා විසින් බොහෝ කාලයක් නිරයෙහි සැරිසරන ලදී.
’’අවුරුදු දසදහසක් පමණවූ දීර්‍ඝ කාලයක් නිරයෙහි හැසුරුනෙමි. මිනිසත් බව ලැබූ මම බොහෝ නින්දා ලැබීමි.
’’එම කර්‍මයාගේ ශේෂවූ විපාකයෙන් චිඤ්චමානවිකා තොමෝ ජන සමූහයා ඉදිරියෙහි මට අභූතයෙන් චෝදනා කළාය.
’’බොහෝ දෙනා විසින් සත්කාර කරණ ලද්දාවූද මම බහුශ්‍රුත බමුණෙක් වීමි. මහවෙනෙහි පන්සියයක් මානවකයනට මන්ත්‍ර හදාරවමි.
’’මහත් ඎද්‍ධි ඇති, පඤ්චාභිඥාලාභීවූ භයජනක ඎෂිවරයෙක් තෙම එහි පැමිණියේය. මම (එසේ) පැමිණියාවූ දුෂ්‍ය නොවූ ඔහු දැක නින්දා කෙළෙමි. (කෙසේදයත්)
’’ඉක්බිති මම ශිෂ්‍යයන්හට මේ ඎෂිතෙමේ කාමභොගියෙකැයි කීමි. මානවකයෝද එසේ කියන්නාවූ මාගේ (කථාවට) අනුව සතුටු වූවාහුය.
’’ඉක්බිති සියළු මානවකයෝ ගෙයක් ගෙයක් පාසා පිඬු පිණිස යන්නාවූ මේ ඎෂිතෙම කාමභෝගියෙකැයි මහජනයාට කීවාහුය.
’’ඒ සියළු මානවකයෝ මේ පන්සියයක් භික්‍ෂූහුම වෙති. එම කර්‍ම විපාකය කරණකොටගෙන ඔවුහු සුන්‍දරිකා පරිබ්‍රාජිකාව නිමිතිකොට නින්දා ලැබූවාහුය.
’’පෙර මම (එක පියෙකුට දාව අන් මව් කුසකින් උපන්) ෙවමාතික (කණිටු) සොහොයුරා ධනය හේතුකොටගෙන නැසීමි. ගිරි දුර්‍ගයකටද හෙළීමි. (හෙළා) ගලකින්ද ගැසීමි.
’’එම කර්‍ම විපාකය කරණකොටගෙන දෙව්දත් තෙමේ ගලක් පෙරලීය. (ඉන් නැගුණු) ගල් පතුරක් මාගේ පයෙහි මහපටැඟිල්ලට වැදුනේය.
’’පෙර මම (කුල) දරුවෙක්ව මහ මගෙහි ක්‍රීඩා කරමින් (එම) මගෙහි (වඩින) පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකු දැක ගල් කැබෙල්ලක් (උන්වහන්සේ දෙසට) විසි කෙළෙමි.
’’එම කර්‍ම විපාකය කරණකොටගෙන මෙම අන්තිම භවයෙහි දෙව්දත් තෙමේ මා මැරීම පිණිස දුනුවායන් යෙදවීය.
’’මම පෙර ඇතරුවෙක් වීමි. පිඬු පිණිස හැසිරෙන්නාවූ උතුම් පසේබුදුවරයන් වහන්සේ කෙනෙක් දැක ඇතා ලවා උන්වහන්සේ ගැටවීමි.
’’එම කමී විපාකය කරණකොටගෙන ගිරිබ්බජ (මගධරට පුරාණ රාජධානිය) නම් උතුම් නගරයෙහිදී (මත්වී) භ්‍රාන්තවූ නාලාගිරි ඇත්තෙමේ දරුණුවූයේ මා වෙත එළඹියේය.
’’මම පෙර පෘථිවීශ්වරවූ රජෙක් වීමි. (එකල්හි) ආයුධය (කඩුව) කින් (ගසා) පුරුෂයෙකු මැරීමි. එම කර්‍ම විපාකය කරණකොට ගෙන බොහෝ කලක් නිරයෙහි පැසුනෙමි.
’’එම කර්‍මයාගේ ශේෂවූ විපාකයෙන් මෙකල මාගේ පාදයෙහි සියළු සිවිය (ඇතුළත ලේ ගැලීම් නිසා) නරක්විය. කර්‍මය නැති නොවේ.
’’මම කෙවුල් ගමක කෙවුල් දරුවෙක් වීමි. (එකල්හි) නසන ලද මසුන් දැක සොම්නස ඉපදවීමි.
’’එම කර්‍ම විපාකයෙන් මාගේ හිසෙහි (දුක්) වේදනාවක් ඇතිවිය. යම් කලෙක්හි විඩූඪභ තෙමේ යුද කෙළේද, එකල්හි සියළු ශාක්‍යයෝද නැසුනාහුය.
’’ඵුස්ස බුදුරජාණන් වහන්සේගේ සසුනෙහි (එම) ශ්‍රාවකයන්හට ’’යව කව්’’ ’’හැල් අනුභව නොකරව්’’ යයි නින්දා කෙළෙම්ද,
’’එම කර්‍ම විපාකයෙන් බමුණෙකු විසින් ආරාධනය කරන ලදුයේ වෙරඤ්ජාවෙහි වසමින් එකල්හි තෙමසක් මුළුල්ලෙහි යව අනුභව කරණ ලදී.
’’(පෙර) මල්ල යුද්‍ධයක් පවත්නා කල්හි (ප්‍රති මල්ලව ආ) මල්ල පුත්‍රයෙක් පෙලීමි. එම කර්‍ම විපාකය කරණකොටගෙන මාගේ පිටෙහි (පවත්නා) දුක්ඛ වේදනාවක් විය.
’’මම පෙර වෛද්‍යවරයෙක් වීමි. (ධනය ගනු කැමතිව) එක් සිටු පුත්‍රයෙක් විරේක කරවීමි. එම කර්‍මය කරණකොටගෙන මට ලෝහිත පක්ඛන්දිකා (ලේ අතීසාරය) වැළඳුනේ වේ.
’’(පෙර) ජෝතිපාල මානවකවූ මම එකල්හි කාශ්‍යප බුදුරජාණන් වහන්සේට ’’හිස මුඩු කළහුට (සම්බෝධි) ඥානයක් කොයින්ද, (තොපට) (සම්බෝධි) ඥානය ඉතා දුර්ලභය’’ යි කීමි.
’’එම කර්‍ම විපාකය කරණකොටගෙන උරුවෙලායෙහි සාවුරුද්දක් බොහෝ දුෂ්කර ක්‍රියා කෙළෙමි. ඉක්බිති සම්‍යක් සම්බෝධියට පැමිණියෙමි.
’’පූර්‍ව කර්‍මයෙන් (සැප) වළක්වන ලදුයේ නොමගින් බුදුබව සොයන්නෙමි. මම (එම) නොමගින් උතුම් සම්‍යක් සම්බෝධියට නොපැමිණියෙමි.
’’කුසල් හා අකුසල් (රැස් කිරීමේ ශක්තිය) ක්‍ෂය කරණ ලදුයේ, සියළු (කෙළෙස්) තැවුල් බැහැරකරණ ලදුයේ, ශෝක රහිතවූයේ, වෙහෙසීම් රහිතවූයේ, ආශ්‍රව රහිතවූයේ පරිනිර්‍වාණයට පත්වන්නෙමි.
’’සියළු අභිඥා බලයනට පත් සර්‍වඥයන් වහන්සේ අනවතප්ත මහ විල් (තෙර) හිදී බික් සඟන ඉදිරියෙහි මෙසේ වදාළ සේක. මෙහි මේ අයුරින් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ පූර්‍ව චරිතය (දැක්වෙන) පුබ්බකම්මපිලොතික නම්වූ ධර්‍ම පරියායය වදාළ සේක.
පුබ්බකම්මපිලොතිකං නාම බුද්ධාපදානං දසමං.
අවටඵලවග්ගො එකූනචත්තාලීසමො.
චුද්දසමං භාණවාරං.