ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

39. අවණ්ටඵලදායක වග්ග

9. සොනකොටිවිස ථෙරාපදානය

’’විපස්සී බුදුරජුන්ගේ සසුන පවත්නා කල්හි සිව් දිගින් වඩින සංඝයාට බන්ධුම රාජධානියෙහි මා විසින් ලෙණක් කරවන ලදී.

’’(එම) ලෙණෙහි බිම් වස්ත්‍රවලින් අතුරා (සංඝයාට) පිදීමි. එකල්හි ඔදවැඩි සිත් ඇත්තේ, සොම්නස්වූයේ, මෙබඳු ප්‍රාර්ථනාවක්ද කෙළෙමි.

’’මම බුදුරජුන් සතුටු කරන්නෙමි. පැවිද්දද ලබන්නෙමි. අනුත්තරවූ, උතුම් ශාන්ති නම්වූ නිවණද ස්පර්‍ශ කරන්නෙමි කියායි.

’’එම කුශලමූලයෙන්ම අනූ කල්පයක් සැරිසැරීමි. කරණ ලද පින් ඇති මම දිව්‍යවූයේ, මනුෂ්‍යවූයේ, බැබලීමි.

’’ඉක්බිති අවශේෂ කර්‍ම විපාකයෙන් අන්තිම භවයෙහි මේ චම්පා නගරයෙහි අග සිටුහුගේ එකම පුත්‍රයාව උපන්නේ වෙමි.

’’මා උපන් පමණින් (එය) අසා පියතුමාහට මෙබඳු අදහසක් විය. (එනම්) මම කුමරුවාහට නොඅඩුව විසි කෙලක් (ධනය) දෙවමි කියායි.

’’මාගේ පතුල් දෙකෙහි සියුම්වූ මොළොක් පහස් ඇති කපු පුලුන් වැනි යහපත් සිව් අඟුල් දිග ලෝමයෝ හටගත්තාහුය.

’’මින් සිව් අනූවන කපෙහි යම් (සමන් මල්) දමක් දැරූයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. සුමන මල් දම් දැරීමෙහි මේ විපාකයයි.

’’මා විසින් සම්බුදු රජතෙම සතුටු කරණ ලදී. (මම) අනගාරිය නම්වූ සසුනෙහි පැවිදිවීමි. මා විසින් පැමිණෙන ලද රහත් බව ඇත්තේ, කෙළෙස් තැවුල් නිවන ලදුයේ, සිසිල්වූයේ වෙමි.

’’පටන්ගන්නා ලද වීර්‍ය්‍යය ඇති භික්‍ෂූන් අතුරෙන් අග්‍රයයි බුදුරදුන් විසින් (මම) දක්වන ලදුයේ වෙමි. මහත් ඎද්‍ධි ඇති, ෂඩභිඥා ඇති, ක්‍ෂය කළ ආශ්‍රව ඇති රහත් කෙනෙක්ද වෙමි.

’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ලෙන් දනෙහි විපාකයයි.

’’බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට ඒකාන්තයෙන්ම මාගේ යහපත් පැමිණීමක් විය. ත්‍රිවිද්‍යාවෝ පැමිණෙන ලද්දාහු වෙති. ත්‍රිවිද්‍යා (ලාබීමි.) බුදුරජාණන් වහන්සේගේ සසුන කරණ ලදී.

’’මා විසින් කෙළෙස් දවන ලදී. සියළු භවයෝ නසන ලදහ. හස්තියෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී.

[පරිවර්තනය නැත]

මෙහි මේ අයුරින් ආයුෂ්මත් සොනකොටිවිස තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සොණකොටිවීසත්ථෙරස්සාපදානං නවමං.