ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

40. පිළින්දවච්ඡ වග්ග

7. ගිරිමානන්‍ද ථෙරාපදානය

’’මාගේ භාර්‍ය්‍යාව කළුරිය කළාය. පුත්‍ර තෙමේද සොහොනට ගියේය. (මළේය.) මවද, පියාද, සොෙහොයුරාද (යන තිදෙන) එක චිතකයෙහි (දරසෑයෙහි) දැවෙත්.

’’මම එම ශෝකයෙන් තැවුනේ, කෘෂවූයේද, පඬුවන් වූයේද වෙමි. එම ශෝකයෙන් පෙළුනේ මාගේ චිත්ත කෝපයද විය.

’’මම එම සෝහුලින් පෙළුනේ, වනයට එළඹියෙමි. ස්වයංපතිත ඵල අනුභවකොට මම රුක්මුලෙහි වෙසෙමි.

’’පස්මරුන් ජයගත්තාවූ (සසර) දුක් කෙළවර කරන්නාවූ සුමේධ නම් ඒ බුදුරජතෙම මා (සසර සයුරින්) ගොඩලනු කැමැත්තේ මාගේ සමීපයට පැමිණි සේක.

’’සුමේධ බුදුරජුන්ගේ පියවර හඬ අසා මම හිස ඔසවා (එම) බුදුරජුන් දෙස බැලීමි.

’’මහාවීරවූ බුදුරජතෙම සමීපයට පැමිණි සේක. මාගේ ප්‍රීතිය පහළවිය. එකල්හි මාගේ සිත එකඟවිය. ලෝකනායකවූ බුදුරජුන් එය දැක,

’’මම සිහිය ලබා (උන් වහන්සේට) පලා මිටක් දුනිමි. පසැස් ඇති භාග්‍යවත් තෙමේ අනුකම්පාවෙන් එහි වැඩහුන් සේක.

’’භාග්‍යවත්වූ සුමේධ බුදුරජතෙම එහි වැඩ හිඳ මට (මාගේ) සෝහුල (උදුරා) බැහැර කරන්නාවූ ධර්‍මය වදාළ සේක.

’’(ඒ භාර්‍ය්‍යා ආදීහු) කැඳවීමක් නොමැතිව එම අතීත ලෝකයෙන් (මෙහි) පැමිණියාහුය. (එසේම අප විසින්) අනුදැන්වීමක් නොකරණ ලද්දාහු මෙලොවින් පරලොවට ගියාහුය. යම්සේ (ඇරයුමක් නොමැතිව) මෙලොවට පැමිණියාහුද, එසේම (අනුදැනීමක් නොමැතිව) පරලොවට ගියාහුය. එහි කවර විලාප කීමක්ද?

’’යම් සේ ඒ මගී ජනයා වැසි වස්නා කල්හි (එම වැස්සෙන් ඇතිවන දුක) ඉවසන්නාහු, වැසි නොවැටෙන තැනකට එළඹෙත්.

’’ඔවුහු වැසි නැවතුන කල්හි කැමති තැනකට යෙත්. ඔබගේ දෙමාපියෝද එසේ වෙති. එහි කවර නම් වැලපීමක්ද?

’’(ලෝ වැසි හැම සත්හුම මෙලොවට) ආගන්තුගයෝ වෙති. අමුත්තෝ වෙති. සැලෙන ඉරියව් වලින් (ඉරියව් මාරු කිරීමෙන්) තෘප්තවූවෝ වෙති. තාගේ දෙමව්පියෝද එබඳු වෙති.

’’යම්සේ ජීර්‍ණවූ සර්පයෙක් තෙම ස්වකීය සැවය හැර දමා ගියේද, එසේම තාගේ දෙමාපියෝද සිය සිරුර මෙලොවෙහි හැර දමත්.

’’මම බුදුරජාණන් වහන්සේගේ වචනය අසා සෝහුල දුරුකෙළෙමි. ප්‍රමෝදය උපදවා බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේ වැන්දෙමි.

’’(එම) බුදුරජුන්හට වැඳ, දිව්‍යමය සුවඳින් යුත් ගිරිමල් (කඳුවල හැදෙන මල් වර්‍ගයක්) කළඹක් පිදීමි. පුදා, ලෝක නායකවූ සුමේධ බුදුරජුන්හට සිරසෙහි ඇඳිලි බැඳ, අග්‍රවූ ගුණ සිහි කරමින් පැසසීමි. කෙසේද යත්?

’’මහා වීරයන් වහන්ස, සර්‍වඥයන් වහන්ස, ලොක නායකයන් වහන්ස, ඔබ පහවූ තෘෂ්ණාව ඇත්තෙහිය. මහා මුනීන් වහන්ස, ඔබ නුවණින් සව් සතුන් (දුකින්) ගොඩලන්නෙහිය.

’’මහාමුනීන් වහන්ස, ඔබ ෙවල්හක නම්වූ සැකය (විචිකිච්ඡාව) ද සිඳිනෙහිය. පසැස් ඇත්තාණන් වහන්ස, ඔබ මා විසින් (යා යුතු ප්‍රතිපත්ති) මාර්‍ගය පිළියෙළ කෙරෙහිය.

’’එකෙණෙහි (ධ්‍යාන) සිද්‍ධියට පත්, ෂඩභිඥා ඇති, මහා ඎද්‍ධිමත්, ප්‍රාඥවූ, ආකාශචාරීවූ රහත්හු පිරිවර රැස්වෙති.

’’(ආචාර්‍ය්‍ය මාර්‍ගයට) පිළිපන්නෝද, සප්ත ශාක්‍යයෝද, (ශුෂ්ක විදර්‍ශක වශයෙන්) අර්හත් ඵලයෝද, (එම) පිරිසෙහි වෙත්. ඔබ වහන්සේගේ එම ශ්‍රාවකයෝ හිර උදාවන කල්හි (පිබිදෙන) පියුම් මෙන් ප්‍රබෝධ වෙත්.

’’පසැස් ඇත්තාණන් වහන්ස, ඔබ (මෙසේ නුවණින් යුතුවූයේ පමණ කළ නොහැකි) අප්‍රමෙයවූ නුවණ ඇත්තේ වෙහිය. (කෙසේද යත්?) සමුදුර මෙන් (නොකැළඹිය හැකි) අතුල්‍යවූ නුවණ ඇත්තෙහිය. (සිතා අවසන් කළ නොහැකි නැණ සයුරක් බැවින්) තරණය කළ නොහැකි නුවණ ඇත්තෙහිය.

’’මම ලෙව්හි (සියළු) කෙළෙස් සතුරන් ජයගත් මහත්වූ යශස් ඇති බුදුරජුන් වෙන වෙන දිගුන්හි (අට දිගෙහිම) හිඳ, උක්කුටිකව වැඳ, නමස්කාර කරමින් ගියෙමි.

’’කුදු මහත් භවයන්හි සැරිසරමින් දෙව් ලොවින් චුතව සම්‍යක් ප්‍රඥාවෙන් යුතුවූයේ, එළඹ සිටි සිහි ඇත්තේ මව් කුසින් බිහිවීමි.

’’(ඉක්බිති වැඩි වයසට පැමිණ) ගිහිගෙන් නික්ම අනගාර්‍ය්‍ය නම්වූ සසුනෙහි පැවිදිවීමි. කෙළෙස් තවන වීර්‍ය්‍යයෙන් යුතුවූයේ, ප්‍රඥාවත්වූයේ, ධ්‍යාන කරන සුළුවූයේ, විවේක ස්ථානයන් ඇසුරු කළේ,

’’වීර්‍ය්‍යකොට, බුදුරජුන් තුටුකොට, මෙඝ කූටය (වැසි වලාවකින්) මිදුණු සඳු මෙන් මම හැම කල්හි හැසිරෙමි.

’’සන්හුන්වූයේ, කෙළෙස් උපධි රහිතවූයේ, විවේකයෙහි යෙදුනේ වෙමි. සියළු ආශ්‍රවයන් (ප්‍රහාණ පරිඥා වශයෙන්) දැන ආශ්‍රව රහිතව වෙසෙමි.

’’තිස්වන කපෙහි සම්බුදු කෙනෙකුන් වහන්සේ පිදූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මේ බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මා විසින් සියළු ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරණ ලදහ. දැන් නැවත ඉපදීමක් නැත.

’’ඒකාන්තයෙන් බුදුරජාණන් වහන්සේගේ සමීපයට මාගේ යහපත් පැමිණීමක් විය. පැමිණෙන ලද ත්‍රිවිද්‍යාවෝ ඇත්තාහුය. මා විසින් බුදුරජාණන් වහන්සේ ගේ සසුන කරණ ලදී.

’’සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගිරිමානන්‍ද තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

ගිරිමානන්දත්ථෙරස්සාපදානං සත්තමං.