ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(දුතියො භාගො)

46. ජගතිදායක වග්ග

2. මොරහත්‍ථිය ථෙරාපදානය

’’මම මොණර පියාපතක් ගෙන, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ ලෝකනායකවූ බුදුරජුන් වෙත එළඹියෙමි. (එළඹ) මොණර පියාපත පිදීමි.

’’මෙම මොණර පියාපත් දන කරණකොටගෙනද, චිත්ත ප්‍රණිධීන් කරණකොටගෙනද, ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. මහත්වූ සැපද ලබමි.

’’ බුදුවරයෝ ආශ්චර්‍ය්‍යයහ. (නෛර්‍ය්‍යාණීක) ධර්‍මයෝද. ආශ්වර්‍ය්‍යයහ. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්වර්‍ය්‍යයකි. මම මොණර පියාපතක් දී මහත් සුව ලබමි.

’’මාගේ ත්‍රිවිධාග්නීහු නිවී ගියහ. සියළු භවයෝ නසන ලදහ. සියළු ආශ්‍රවයෝ ක්‍ෂය කරන ලදී. දැන් නැවත ඉපදීමක් නැත.

’’මින් එක් තිස්වන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මොණර පියාපත් දනෙහි මේ විපාකයයි.

’’මාගේ ක්ලේශයෝ දවන ලදහ. සියළු භවයෝ නසන ලදහ. ඇතෙකු මෙන් බැඳුම් සිඳ, ආශ්‍රව රහිතව වෙසෙමි.

’’ඒකාන්තයෙන් බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේගේ සමීපයට මාගේ පැමිණීමක් විය. පමුණුවන ලද ත්‍රිවිද්‍යා ඇත්තෝය. බුදුරජාණන් වහන්සේගේ සසුන කරන ලදී.

මෙහි මේ අයුරින් ආයුෂ්මත් මොරහත්‍ථිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.

මොරහත්ථියත්ථෙරස්සාපදානං දුතියං.